Showing posts with label කවි සිතුවිලි. Show all posts
Showing posts with label කවි සිතුවිලි. Show all posts

නිර්මලරාජන්ගේ අම්මා...


ආත්මය මිලානව තිබිණි
මම නිමල්ගේ අම්මාට ලියුමක් ලිවීමි
"කිසිදාක දැක නැති
දයාබර අම්මේ,
ඔබ දැක ගන්න එන්නවත්
මුන් අපට ඉඩ දෙන්නෑ

අම්මාවරුන්වත් මෙහෙ වුන් හඳුනන්නෑ
දරුකම කියන දේවත් මේ 
කිසි කෙනෙක් දන්නෑ"

ඈ හැරෙන තැපෑලෙන් 
මා අමතා තිබුණා ය
"පුතේ උඹේ අත් අකුරු
නිමල්ගෙ අත් අකුරු වගේමයි
උඹ බලන්නත් ආසයි"

ඇගේ ලිපියෙන්
මගේ ආත්මය යළි වරක් විකසිත විය

සියලු බැරියර් බිඳගෙන 
මම ඈ දකින්නට ගියෙමි

ඉරි තැලුන දෙපා සිම්ඹෙමි
"අම්මේ ඔබේ දෙපා
අපේ අම්මගෙ දෙපා වගේමයි"

ඇය නැඹුරු වී 
ස්නේහයේ සුරතින්  
මහිස පිරිමැද්දා ය
"පුතේ නුඹේ හිස  
නිමල්ගෙ හිස වගේමයි"

මම සීරුවෙන්
ඈ අභියස සිට ගතිමි
"අම්මේ ඔබේ සුරත
අපෙ අම්මගෙ සුරත වගේමයි"
ඇය නොසෙල්වී
නෙතු පියන් නොහොල්ලා
මා දෙසම බලා උන්නා ය

මම සිනාසීමට යත්න දැරීමි
"පුතේ නුඹේ සිනහව
නිමල්ගේ සිනහව වගේමයි"

ඉක්බිති
ඈ දෙනෙත් අභියෙන් 
සිහින් දිය දහරක් ගලා හැලිණ

"අම්මේ ගිය කඳුළු
අපේ අම්මගෙ කඳුළු වගෙමයි"


------------------------------------------------------------------------------------------------------------------------------------

ප. ලි. - මටත් බ්ලොග් එකක් තිබුණා නේද කියලා මතක් වුනේ අද උදේ. දෙයියනේ කියලා වැඩ ටික ඉවර කරලා බස් එක පැත්තෙ කරක් ගහනකොට තමයි මතක් වුනේ. ලියන්න කියලා දෙයක් ඔලුවට ආවෙ නැති වුනත් මොනවා හරි ටිකක් කොටලා යන්න කියලා ආවේ. ආයෙ කවදා මේ පැත්තට එන්න වෙයිද දන්නෙ නැති නිසා.

නුඹ.......

ගිම්හානයට විරාමය දී
මා වෙතට වස්සානය ගෙනා

නුඹ.......

මෙතරම් නපුරු යැයි
මා කිසි දිනෙක නොසිතුවෙමි
මෙවන් නපුරු සරඳමක් 
කිසි දිනෙක නොපැතුවෙමි

පැතූ දහසක් පැතුම් පොදි
අකාලයේ මිය යද්දි
කෙසේ නම් මා ඉවසම්ද

ඔබට පමණක් පුදන්නට
පූජාසනයේ මල් පිදු මා ළඟ
නැත විකසිත වූ පියුම්
සියල්ල පරවී ගොසිනි
 
මා සිතුම් සඳැල්ලේ
නැගෙන දහසක් සිතුවිලි

නුඹ ගැනයි........

අසන්නට එක වතාවක්
හෙටක් වෙනුවෙන් 
ලොවක් පතමි මා  

ඔබේ දෙපා ළඟ
විකසිත වී පිපෙන්නට........

තිත.........

අරුත් සුන් වැකියක අවසන
නොසිතාම තැබීමි තිත ......
තක්සලාවේ ලියූ වැකි වල
කිසිදු අගයක් නැතිවම
තැබීමි තිත ......

එනමුඳු,

මහමෙරක් සේ නුඹට බැඳි පෙම
තිතක් තරමට නුඹට දැනුනට
කෙලෙස නිමවා තබන්නද තිත
නුඹට පමණක් ලියූ කවියට

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...