මේ සින්දුව නම් ගොඩ දෙනෙක් අහලා ඇති මම හිතන්නේ... සමහර විට ඔබ මේක දකින්න ඇති.... එත් මේ නොදැක්ක අය වෙනුවෙන්...

හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න....
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න....

අඳුරු ලලා වහිනා කල
සරසවිබිම තෙමෙන්න...
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න.....

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න......
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න....

පද රචනය - ධම්මික  බණ්ඩාර
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා
ගායනය - අමරසිරි පිරිස්

පේරාදෙණිය සරසවි බිම.... හන්තාන කඳු බිම....එහි තුරු වැල්...කතා කරන්න පුළුවන් නම් පෙම්වතුන් ගැන... ආදරය ගැන කෙතරම් අත්දැකීම් පවසාවිද...හන්තානේ පා සටහන් නොතැබූ පෙම්වතුන් යුවලක් පේරාදෙණිය සරසවියෙන් සොයා ගත හැකිද...
පේරාදෙණිය ගැන, හන්තාන ගැන ගී ලියන්න කවි ලියන්න පෙරුම් පුරන අය කොතරම්ද...... එවන් නිර්මාණකරුවන් අතින් බිහිවන කවි ගී වල සුන්දරත්වය ගැන කවර කතාද....
අද අපි කතා කරන්නෙත් ඒ විදියට කාලාන්තරයක් තිස්සේ පෙරුම් පුරලා.... බිහිකළ නිර්මාණයක් ගැන. දම්මික බණ්ඩාර "හන්තානට පායන හඳ" ගැන ලියූ පද රචකයා.
මම ඉගෙන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ. එත් මගේ මිතුරන් හිටියා පේරාදෙණියේ. නවසිය අනුවේදී විතර නිවාඩුවට මම යනවා පේරාදෙණියට. ඒ පරිසරය හරිම සුන්දරයි. මට හිතුණා පේරාදෙණිය ගැන සින්දුවක් ලියන්න. එත් කවදාවත් ඒක ලියැවුණේ නෑ.
පසුව මම ගුරුවරයෙක් උණා. මගේ උසස් පෙළ පන්තියේ මම දවසක් දැක්කා සිසුවෙක් සහ සිසුවියක් අතරේ පෙම් සබදතාවක් මෝරනවා. මම කරබාගෙන හිටියා.
මේ සිසුවිය ඒ තුනක් අරගෙන පේරාදෙණියට ගියා. එත් කොල්ලට යන්න බැරි වුනා. වසර ගණනාවකට පස්සේ දවසක් මට මේ තරුණයා හමුවුණා. කෝ උඹත් එක්ක ඒ කාලේ එකට බත් කාපු කෙල්ල කියා මම ඇහුවා. නෑ සර්... ඒක ඉවරයි. එයා කැම්පස් ගියා.  එයාට දුර ගමනක් තියනවානේ. පේරාදෙණියට ගියාම එයා කොතරම් සුන්දර දේවල් දකිනවද.... ඒ සුන්දරත්වය මා නිසා විදින්න බැරිවේවි. ඒ නිසා ලියුම් ගණනාවක් ලියලා මම අයින් වුණා. එත් එයා නම් කැමති වුණේ නැහැ. ඒ තරුණයා මට කිව්වා. මම කල්පනා කළා මෙයා අමුතු විදියට හිතපු ළමයෙක්. ඉතින් අවුරුදු ගණනාවකට කලින් මගේ හිතේ තිබුණු පේරාදෙණිය ගැන ලියන්න ඕන සින්දුව ලියැවුණා. ඒ ධම්මික ගීතයේ නිමිත්ත ගැන කල සදහන.
ගීතය ගැන එහි අරුත ගැනත් ධම්මික කතා කළා. දැන් ඇය ඉන්නේ පේරාදෙණිය සරසවි බිමේ. එබීමට හන්තාන හොඳට පෙනෙනවා. සුන්දරම දසුන තමයි හන්තානට හඳ පායන අවස්ථාව. එත් ඒ පුර හඳ මට දකින්න බැහැ. එය ඔබට දැකිය හැකියි. 
සරසවි බිමේදී ඇය දකින බොහෝ සුන්දර දසුන් දකින්න ඔහුට වරම් නැහැ.


අඳුරු ලලා වහිනා කල
සරසවිබිම තෙමෙන්න...
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න..... 


ඔහු සරසවි නොගියත් එහි ජිවිත ගතවන ආකාරය ගැන මනා අවබෝධයක් තිබෙන තරුණයෙක්.

පේරාදෙණිය සරසවි බිමට හිරිපොද වැස්ස අලුත් දෙයක් නොවේ.මේ ඒ වැස්ස පතිත වන්නේ අඳුරත් කැන්දා එමින්. ඉතින් සරසවි ප්‍රේමාතුරයන් එක කුඩේ යටින් තුරුළු වෙලා යද්දී... ඈ යන්නේ කුඩේ යටින් තනිවයි. ඒ ඇයගේ පෙම්වතා ඉන්නේ ගමේ. එත් කැමති කෙනෙක් ඉන්නවනම් කුඩේ යටට ගත්තාට කමක් නැහැ කියා ඔහු ඇයට පවසනවා. කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න...කියා ඔහු කියන්නේ ඒ නිසායි.

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න......
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න....


ඔහු ආත්මාර්ථකාමියෙක් නොවේ. ආදරය කැපකළ අහිංසක සුන්දර පෙම්වතෙක්.
සරසවි බිමේ හැම තුරු වදුලක් යටම ආදරවන්තයන් පෙම් බස් දොඩන දසුන....විශ්වවිද්‍යාල ජීවිතය හඳුනන ඕනෑම අයෙකු අත් විදින්නක්. මේ තුරු වදුලු පසුකරන් යද්දී ඒ ගහකොළ ඇයට අත වනනවා. ලතා මඩුළු සෙවනට එන්න කියා... එත් ඒ තනිවම නොවේ...ඇතැම් විට සරසවියේ ඇයගේ ප්‍රේමය ඉල්ලා සිටින තරුණයෙක් වෙන්න ඇති. එත් ඇය හිතන්නේ ගමේ පෙම්වතා ගැන. එපා මා ගැන හිතන්න එපා. සරසවි බිමේ සුන්දරත්වය ඔයා විදින්න. අපි දෙදෙනාගේ ආදරය ගැන අමතක කරලා දාන්න. කිසිදාක ඒ මතකය යලි.... නොවන ලෙසට. මේ ත්‍යාගශීලි පෙම්වතා අවසානයේ ඇයගෙන් ඉල්ලා සිටිනවා.


තරුණයෙක් තමන්ගේ ප්‍රේමවන්තිය දෙස උපේක්ෂාවෙන් බලනවා. සරසවියට යන්න තමන්ට නොහැකි වුණත් අහි සුන්දරත්වය විඳින්න ප්‍රේමවන්තියට ඉඩ දෙනවා. මෙය අහිමි ආදරයක් ගැන කියැවෙන සුන්දර ගීතයක්. ඒ අදහස අමරසිරි පිරිස් ප්‍රවීන ශිල්පියාගේ.
ප්‍රේමයේ පරිත්‍යාගය ගැන ලියැවුන ගැඹුරු ගීයක් තමන් මින් පෙර රස විඳ නැතැයි සංගීතය යෙදු ඩැනිස්ටර් පෙරේරා ශිල්පිය ප්‍රකාශ කළා. මේ සදහා මුලිකව යොදා ගත්තේ බටහිර සංගීතය බවත්, හන්තානේ සුන්දරත්වය වඩාත් තීව්‍ර කිරීම සදහා සෙක්සපෝනය යොදාගත් බවත් ඔහු පැවසුවා.
අසන ඕනෑම අයකුට අපුර්ව මිහිරක් විඳිය හැකි පද මාලාවක්, හඬක් සහ සංගීත නාදයක් මේ ගීයේ තියනවා. මදකට දෙනෙත් පියාගෙන මේ ගීතය රස විඳින්න.... මනසේ ඇඳෙන සිතුවම කොතරම් සුන්දරද....

අජිත් අලහකෝන්


ප. ලි. - ඊ මේල් මගින් තමයි මේක මට ලැබුනේ. මම හිතන්නේ මොකක් හරි පත්තරයක ගිය එකක් වෙන්න ඕනේ. මේවා ගොඩ දෙනෙක්ට දකින්න ලැබෙන්නේ නෑ. ඒක නිසාමයි මහන්සියත් නොබලා ටයිප් කලේ..... 

2 අදහස්:

Anonymous said...

ගොඩාක් ලස්සන සින්දුවක්.....

රවා said...

මචන් අපුරු ගිතයක් ... මෙක දැකලා තියන්නෙ කිපදෙනයි ... අපුරුයි ....

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...