අපිට පිස්සු ඕයි !!!



පෝස්ට් එකක් ලියන්නලු ඕයි
මුන්ට පිස්සු කියලා ඕයි
මුන්ට පිස්සු උණාට මට පිස්සු ද ඕයි
ඔව් මම ලියනවා මට පිස්සු ඕයි

මන්දාකිණි නෝට් එක හීනෙන් පේනවා ඕයි
ඇඩ් එකේ යන ඒවා කරන්න හිතෙනවා ඕයි
ඉන්දියවේ, මාලෙ උන් මගෙ උළුව කන්න හදනවා ඕයි
උන්ගෙ වැඩේ පරක්කුයි කියලා ඕයි
මට අම්බානක වැඩ ඕයි
ඒ අස්සෙ පෝස්ට් ලියන්න බෑ ඕයි

පිස්සන් කො‍ටුවෙ ක්‍රිකට් මැච් එකක් ගහමු ද ඕයි
කට්ටිය ගහයි අපි සයිඩ් එකේ ගල් ගහමු ද ඕයි
බයික් රේස් එකක් වාට්‍ටුව වටේ පදිමු ද ඕයි
හොලිව්ඩ් ‍ෆිල්ම් එකක් ඇක්ට් කරමු ද ඕයි
පට්ට සීතලයි මට පිස්සු ද ඕයි

මට පිස්සු වගේ ඕයි...
වගේ නෙමේ ඕයි..
හොඳටම පිස්සු ඕයි !!!


හදවතට ආදරය කරන්න.......

ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ බංකුවක් මත අසුන් ගෙන සිටි ජෝන් ස්මිත් තවත් වරක් නැගිට තම හමුදා නිල ඇදුම සකසා ගත් අතරම දුම්රිය ස්ථානයෙන් පිට වන මගීන් දෙස බැලුවේ පරීක්‍ෂාවෙනි. ඔහු බලාපොරොතුවෙන් සිටියේ තමන් හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණියවයි,රෝස මලක් අතින් ගෙන පැමිනීමට පොරොන් දු වූ තරුණියවයි. ඇය කෙරේ ඔහුගේ උනන්දුව මීට දහතුන් මසකට පෙර ෆ්ලොරිඩාවේ පුස්තකාලයක් තුලදී ඇති වුනි. එදින පුස්තකාලයෙන් ඔහු පොතක් ලබා ගත් අතර ඔහුගේ සිත ඇදී ගියේ එම පොතේ මුද්‍රිත වාක්‍ය වලට නොව එහි පිටු අතර තැනින් තැන ලියැවී තිබූ ආදරණීය වූත් අර්ථවත් වූත් වාක්‍ය ඛන්ඩ වලටය . ඒවා එම පොතේ මුල් අයිතිකාරියගේ අදහස් වූ අතර ඇයගේ නම පොතේ මුල් පිටුවේ සදහන් කර තිබුනි,මේරි ජොන්සන්. 

ඔහුගේ බලවත් උත්සාහයත් කැපවීමත් නිසා අවසානයේ ඇයගේ ලිපිනය සොයා ගැනීමට ඔහු සමත් වූ අතර ඇය නිව්යෝර්ක් නගරයේ පදිංචිකාරියක් වූවාය... තමන් හදුන්වා දෙමින් පොතේ සටහන් කර තිබූ ඇගේ අදහස් අගය කරමින් ඔහු ඇයට ලිපියක් ලියූ අතර සතියක පමාවෙන් ඇගෙන් පිලිතුරු ලිපියක් ලැබුනි. ඉන් මද කලකට පසුව දෙවන ලෝක යුද්ධයට සහභාගී වීමට ඔහු යුරෝපය බලා පිටත් විය.. ඉන්පසුව ගෙවී ගිය වසරකුත් මාසයක් වූ කාලය තුල ඔවුන් දෙදෙනා ලිපි හුවමාරු කර ගත් අතර ඒ සෑම ලිපියක් පාසාම ඔවුන් තුල එකිනෙකා කෙරෙහි ආලය ව් අර්ධනය වනු ඔවුන් දෙදෙනාටම දැනුනි.ජෝන් ඇගෙන් ඡායාරූපයක් ඉල්ලා සිටිය මුත් ඇය එම ඉල්ලීම තදින්ම ප්‍රතික්‍ෂේප කලාය. ඇගේ අදහස වූයේ ඔහු ඇයට සත්‍ය වශයෙනම ආලය කරනවා නම් ඇගේ ස්වරූපය පිලිබදව ඔහු උනන් දු නොවිය යුතු බවයි.

ඔහු යුරෝපයේ සිට යලි ඇමරිකාව බලා පැමිනෙන දිනය ලගා වූ අතර ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පලමු හමුවීම නිව්යෝර්ක්හි ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය අසල සවස 6ට යොදා ගත්තෝය."මාව හදුනා ගන්න පහසු වෙන්න මම රතු රෝස මලක් මගේ ගවුමේ පලදින්නම්" ඇය අවසන් ලිපියේ සදහන් කලා. එම නිසා ජෝන් ස්මිත් නියමිත දින සවස 5.30 වන විට ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය අසලට පැමිනි අතර හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණිය පැමිනෙන තුරු ඔහු නොඉවසිල්ලෙන් බලා සිටියා.

කතාවේ මීලග කොටස ජෝන් ස්මිත්ගේ වචන වලින්ම ඔබට ඉදිරිපත් කරන්නම්"හරියටම සවස 6වන විට සිහින් උස තරුණියක් මා සිටි දෙසට පැමිනියා,ඇගේ කලුවන් කෙස් කලබ සැදෑ හිරු වැදී බැබලුනු අතර ඇගේ නිල් පැහැති දෙනෙත් වල කාන්තියට මා වසග වූවා. ඇගේ රෝස පැහැ දෙතොල් මත මද සිනාවක් තැවරී තිබුනි අතර ඇය හැද සිටි තද කොළ පැහැති ඇදුමින් ඇගේ ශෝබාව දෙගුණ තෙගුණ වී තිබුනා. විසි පස් හැවිරිදි තරුණයෙකු වූ මා මගේ ජීවිතය තුල එතෙක් දැක තිබූ ලස්සනම කාන්තාව ඇයයි. 

ඇය රතු පැහැති රෝස මලක් පැලද නොසිටියත් මම ඉබේම ඈ දෙසට ඇදී ගියේ මටත් නොදැනීමයි. මා දෙස බලා මද සිනාවක් පෑ ඇය මා පසු කර ගිය අතර මා එවිටම දුටුවේ මේරි ජොන්සන්වයි.ඇය රූමත් තරුණිය පිටුපසින්ම වාගේ සිටියාය. ඇය තරුණියක් නොවූ අතර මැදි විය පසු කරමින් සිටි ගැහැණියක් වූවාය. ඇය හිස් වැස්මක් පැලද සිටි අතර ඒ අතරින් ගෙල පෙදෙසට වැටී තිබූ අළු පැහැ වූ කෙස් කලබෙන් ඇගේ වයස පිලිබදව සාක්‍ෂියක් සැපයුනි. තරබාරු කාන්තාවක් වූ ඇය අවසන් ලිපියෙන් පොරොන්දු වූ පරිදිම රතු රෝස මලක් පැලද සිටියාය...ලොව මා වටා භ්‍රමනය වන ආකාරයක් මට දැනුනි.

මේ වන විට තද කොළ පැහැති ඇදුමකින් සැරසී සිටි රූමත් තරුණිය කෙමෙන් කෙමෙන් මගෙන් ඈත් වෙමින් සිටියා. මගේ හදවත කැබලි වලට බිදී යන ආකාරයක් මට දැනුනි,ඇය පසු පසින් යාමට බලවත් අවශ්‍යතාවයක් මට තිබුනත් වසරකට අධික කාලයක් තිස්සේ මා සමග ලිපි හුවමාරු කර ගනිමින් මට ශක්තියක් වූ කාන්තාව සමග මද වේලාවක් හෝ ගත කිරීම මගේ යුතුකමක් බව මට සිතුනි.

මම යලිත් ඇගේ තරබාරු සුදුමැලි මුහුන දෙස බැලුවෙමි. ඇගේ කරුනාවන්ත දෑස් මා වෙත යොමු වී තිබූ අතර මද විමතියක සලකුනු ඒවායේ සටහන් වුනා. තවත් පමා නොවූ මා මෙතෙක් කලක් මා ප්‍රවේශමෙන් ආරක්‍ෂා කර ගත් ඇගේ පොත ඇයට බාර දුන්නා. ඇය දුටු පමනින් ඇය රූමත් තරුණියක නොවූ නිසා මගෙ සිතේ ඇති වූ කලකිරීම පිලිබදව මේ වන විට මා පසුතැවුනු අතර මා ඇයට මාව හදුන්වා දුන්නා,"මම ලුතිනන් ජෝන් ස්මිත්,ඔබ මේරි ජොන්සන් විය යුතුයි,ඔබව හමු වීම මට මහත් සතුටක්,මා සමග රාත්‍රී ආහාරයට පැමිනීමට මා ඔබට ආරාධනා කරනවා"

කාන්තාවගේ මුහුනේ මද සිනහවක් ඇදී ගියා"මම දන්නේ නෑ පුතේ මේකේ තේරුම " ඇය පිලිතුරු දුන්නා

"මට කලින් ආව තද කොළ පාට ඇදුමක් ඇදන් හිටිය කාන්තාව මගෙන් තදින්ම ඉල්ලා හිටියා මේ රෝස මල මගේ ඇදුමේ පලදින්න කියලා. එයා කිව්වා පුතා මට රාත්‍රී ආහාරයකට ආරාධනා කලොත් පුතාට කියන්න කියලා එයා පාරෙන් එහා පැත්තේ විශාල අවන්හලේ පුතා එනතුරු ඉන්න බව. "" මේක එක්තරා ආකාරයක පරීක්‍ෂණයක් බව ඇය කිව්වා"

 රූපයට නොව හදවතට ආදරය කරන්න ඔබ ජය ගනීවි.


~~~~ උපුටා ගැනීමකි~~~~

තවත් එකක්..............










මේ දවස් වල වැඩත් එක්ක බ්ලොග් එක ලියන එක නවත්තලා තිබුනෙ. ලියන්න කියලා හරි හමන් දෙයක් හිතට ආවෙත් නෑ. ඒ හින්දම බ්ලොග් එක තියනවද කියලවත් බලන්න බැරි උණා. 

අදත් කියන්න යන්නෙ තවත් කෙල්ලෙක් ගැන.  මේ සිද්දිය වුනේ මම කාලයක් තිස්සෙ ආශ්‍රය කරන මගේ ලඟම යාළුවෙකුට. නමින් ඒ චමිල. මගෙ වයසෙම වෙච්චි චමිල මට මුණ ගැහෙන්නෙ රැකියා ස්ථානයකදි. මුලදි අපි දෙන්න අතර ලොකු හිතවත් කමක් තිබුනෙ නෑ. මගෙ වයසෙම කොල්ලෙක් විදියට විනෝදයට බර තවත් එක යාළුවෙක් විදියට චමිල මට හිතවත් උණා.

අපි එකට කෑවා බිව්වා, ට්‍රිප් ගියා, වෙඩින් වලට ගියා තව ගොඩක් දේවල් කලා. අදටත් අපි තැනකට සෙට් උනොත් දවස් ගානක් කතා කරන්න දේවල් අපි ඒ දවස් වල කරලා තිබුණා. 

චමිල කියන්නෙ ගොඩක් සංවේදී කෙනෙක්. ආදරේ වෙනුවෙන් මැරෙන්න උනත් දෙපාරක් හිතන්නෙ නැති ජාතියෙ කොල්ලෙක්. මට හම්බ වෙන්න කලින් ගෑණු ළමයි දෙතුන් දෙනෙක් එක්ක සම්බන්ද කම් තිබුනා කියලා මට කියලා තිබුණා. 

මෙහෙම ඉන්න අතරේ සමාජශාලා වෙබ් අඩවියකින් චමිල ගෑණු ළමයෙක් අඳුන ගන්නවා. කියන්න තරම් වැරද්දක් තිබුනෙත් නෑ කෙල්ලගෙ. දෙන්න හොඳට ගැළපෙන බවක් පේන්න තිබුණා. මමත් හිතුවෙ ගොඩක් ආදරෙන් ඉන්නවා කියලා. ගොඩක් සඳුදා වල උදේම චමිල මා ලගට ඇවිත් කියන්නෙ දෙන්නත් එක්ක ගිය ගමන් ගැනයි උණ දේවල් ගැනයි. 

සම්බන්දය පටන් අරන් මාස 5කට පස්සෙ කෙල්ලගෙ ගෙදරින් මේ සම්බන්දෙ දැන ගන්නවා. ලොකු අවුලක් නැතුව චමිල කෙල්ලගෙ ගෙදරට ගිහින් සම්බන්දෙ ගැන කීවම කෙල්ලගෙ දෙමව්පියනුත් මේ ගැන හොයලා බලන්න තීරණය කලා. 

කෙල්ල කොලඹ. ඉතින් ගෙවල් දෙකේ කට්ටියම දැන අඳුන ගෙන දෙන්නට අනාගතේ ගොඩනගා ගන්න අවස්ථාව ලබා දෙනවා. තවත් මාස තුනකට පස්සේ එන්ගේජ්මන්ට් එකට දින දාගත්තා. වෙඩිං එක ගන්න අවුරුද්දක් විතර යන නිසා එන්ගේජ්මන්ට් එක ටිකක් ලොකුවට ගත්තා. හොටෙල් එකක, කෑම බීම ඇතුලු හැම දෙයක් එක්කම අපෙත් සහභාගීත්වය ඇතුව ඉතාම ලස්සනට එදා දවස ගෙවුණා. 

හරියටම මාස දෙකකට පස්සෙ සඳුදා උදේක චමිල මා ළගට ඇවිත් කිව්ව දේ මට අදහා ගන්න බැරි උණා. මචං කෙල්ලට ඩිවෝස් වෙන්න ඕනේලු බන් මොනා කරන්නද මන්දා පිස්සු වගේ කියලා විස්තර ගොඩාක් කියාගෙන ගියා. මමත් කෙල්ලට කතා කරලා ඇහුව මොකද කියලා. කෙල්ල මට කිව්වෙ අයියෙ ඔයාට වැඩක් නෑනෙ අපේ දේවල් අපි ඒවා විසඳගන්නම් කියලා. තවත් අපේ යාළුවො කීපදෙනෙක් ම කතා කලත් වැඩක් උණේ නෑ. 

අන්තිමට කෙල්ල විවෝස් වෙන්න නඩුවක් දාලා. චමිල කියන විදියට හේතුව විදියට කෙල්ල කියන්නෙ චමිලගෙ ආදරේ එයාට කරදරයක්ලු. කෙල්ල හිතන්නෙ චමිල එයා ගැන සැකෙන්ලු ඉන්නෙ. දැන් කොහොම හරි හැම දේම වෙලා ඉවරයි. චමිල හිත්වේදන්නවෙන් කාලය ගත කරමින් ඉන්නවා. 


ප/ලි: මේ සීන් එක හින්දා පහුගිය ටිකේම හැන්දෑවට චමිලත් එක්ක දුක තුනී කරගන්න උණා. 

මෙහෙමත් කෙල්ලෝ...........



දැනට මාසෙකට විතර කලින් මට කෝල් එකක් ආවා මගෙ යාළුවෙකුගෙන්. යාළුවගෙ නම් චන්දික කියමුකො. මෙහෙමයි අපි දෙන්න අතර කතාව ගියෙ...

චන්දික : හලෝ නචිය, මොකද කරන්නෙ, කොහෙද බන් ඉන්නෙ..
මම : අඩෝ චන්දිකයා, අද හාෆ් ඩේ ආවා බන්, කොලඹ යන්න බස් එකට නැග්ගා විතරයි
චන්දික : ඉතිං මචං... පොඩි උදවක් ඉල්ලගන්න පුළුවන්ද බලන්න කතා කලේ..
මම : කියපන් මචෝ පුළුවන් දෙයක් නම් ඉතිං ආයෙ අහන්න දෙයක් නෑ ඕකේ
චන්දික : මචං, මගෙ වෙඩිං එක ජනවාරි, කතා කලේ උඹට පුළුවන්ද බෙස්ට් මන්ට ඉන්න කියල බලාගන්න බන්..
මම : අනේ සොරි මචෝ, මම දැනට දෙකකට ඉඳලා තියනවා, තව එකක් ආවා මම බෑ කිව්වා, තුනකට ඉන්න ඉන්න හොඳ නෑළුනෙ බන්, කෙල්ල කියනවා ඉන්න එපාලු, ඒකයි කලින් එකටත් බෑ කිව්වෙ බන්...
චන්දික : එහෙමද, අවුලක් නෑ බන්, පියල්ට කතා කරලා බලන්නම්...
මම : අවුලක් නෑ නේද බන්
චන්දික :  නෑ මචෝ, පස්සෙ සෙට් වෙමුකො එහෙනම්
මම : එළ මචං, එහෙනම් තිබ්බා...

එදයින් පස්සෙ චන්දික මට කෝල් කලේ නෑ. තරහකට නෙවේ. සෙට් වෙන වෙලාවක කෝල් එකක් දුන්නොත් ඇරෙන්න නිකමට කෝල් එකක් දෙන්නෑ චන්දිකයා. ගිය සතියෙ මට පියලව හම්බුණා. පියල් එක්ක කතා බහ ගියෙ මෙහෙමයි..

මම : හලෝ පියලා, කොහොමද මචං..
පියල් : අඩෝ නචියා, ඉන්නවා මචං උඹලගෙ පිහිටෙන් අපේ වියදමෙන් (කවුරු ඇහුවත් කියන්නෙ ඔය ටික තමයි) 
මම : ඒක නෙමේ මචං, චන්දිකයගෙ වෙඩින් එක නේද ජනවාරි,  උඹට කතා කලාද බෙස්ට් මන්ට
පියල් : ඔව් බන් මාර වැඩක්නෙ ඌට වෙලා තියෙන්නේ. වෙඩින් එක කැන්සල්, හොටෙල් එකත් බුක් කරලා තිබුනෙ ඒකත් කැන්සල් කලා බන්.
මම : අඩේ ඒ මොකද බන්, මොකක්ද අවුල...
පියල් : මාර කෙල්ලෙක් බන් ඒකි, මාතර එවුන්නේ, පවුං පහක මාලෙකුයි පවුමක මුද්දකුයි ඉල්ලලා චන්දිකයගෙන්..
මම : ඈ යකෝ මාර කෙල්ලෙක්නෙ බන්
පියල් : ඒ ටික නැත්නම් මේක කෙරෙන්නෙ නෑ කිව්වළු. චන්දිකයගෙ තාත්තා ඒකිගෙ ගෙදරට කතා කරලා මගුල නවත්තලා දැම්මා.
මම : පව් බන් චන්දිකයා, ඔය තුන් වෙනියට කෙරෙන්නම ගිය එක, කලින් දෙකෙත් අවුල් වුනානෙ.
පියල් : ඔව් බන් මොනා කරන්නද, පතාගෙනම අපු එකා එනකල් ඉන්න වෙනාවා.

තවත් දේවල් කතා කරලා මම පියල්ගෙන් සමු අරගෙන ආවා. ඔන්න ඉතිං මෙහෙමත් කෙල්ලො කිව්වට ඔක්කොම එහෙම නෑ. මෙහෙම අයත් ඉන්නවා කියලා කියන්න තමයි මේ කතාව දැම්මෙ.


ප. ලි. - නම් ගම් මනංකල්පිතයි. සත්‍ය සිදිවීමක්

සතුට.........

 













එක පුද්ගලයෙක් එයාගෙ බිරිඳගෙ අල්මාරිය ඇරලා ලස්සන සුදු ඇඳුමක් හෙව්වලු. එතකොට ලස්සන කවරෙක දාලා නමල තිබුණ සුදු ඇඳුමකුයි රිදී පාට මාල කීපයකුයි හම්බ වෙලා. 
ඔහු ඒ සේරම අතට අරගෙන ගොඩාක් වෙලා කල්පනා කරද්දි මතක් වුණාලු දැනට අවුරුදු අටකට නවයකට වගේ උඩදි ඒ ගොල්ලො පිටරටක නිවාඩුවකට ගිය වෙලාවෙයි ඒ ඇඳුම් ආයිත්තම් මිලදී ගත්තෙ කියලා. ඒ ඇඳුම් ඔහුගෙ බිරිඳ පාවිච්චි කරලම නෑ. අවුරුදු ගණනාවක් තිස්සෙ ඒ ගත්තු විදියටම අල්මාරියෙ තිබිලා.

විශේෂ දවසකට අඳින්න තියාගෙන ඉන්නවා කියලා තමයි බිරිඳ කියලා තියෙන්නේ.

ඒ ඇඳුම් ආයිත්තම් දෑතින් අරගෙන ඇඬූ කඳුළින් අසලින් හිට්පු එයාගෙ මිත්‍රයට මෙහෙම කිව්වලු.

මගේ බිරිඳ කවදාවත් මේවා ඇන්දෙ නැත්තෙ වැදගත් දවසකට අඳින්න කිය කිය හිටපු හින්දා. සමහර විට ඒ වැදගත් දවස අද වෙන්න ඇති....  

ඔහු තම මිතුරාත් එක්ක ඒ ඇඳුම අරගෙන යන්න සූදානම් උණේ කොහෙද දන්නවද ?. ඔහුගෙ මියගිය බිරිඳගේ මෘත දේහයට අන්දවන්න. 

අවමංගල උත්සවයෙන් පස්සෙ ඒ සැමියා තම මිතුරාට අවවාදයක් දුන්නලු. 
"කිසිම දෙයක් විශේෂ අවස්ථාවකට කියලා පාවිච්චි නොකර ඉන්න එපා. අපි කොයි වෙලාවෙ මැරෙයිද කවුද දන්නෙ. ඒ හින්දා හැම දවසක්ම වැදගත් දවසක් කියලා හිතලා ඒ දවස හොඳට සම්පූර්ණ විදියට වීවත් වෙන්න. නැතුව අනාගතේ වෙනුවෙන් දේවල් රැස් කරන එක මෝඩ කමක්".

අපි අනාගතේ ගැන කිසියම් දළ සැලැස්මක් ඇතිව වැඩ කරන එකේ වරදක් නැහැ. ඒත් ඉහත පුංචි කතාවෙන් අපට ජීවිතයට ඉගෙන ගන්න දෙයක් තියනවා. 

ඕනවට වඩා අනාගතේ ගැන කරදර වෙන්න එපා. අද දවසේ වින්දනය හෙට දවසට තියන්න එපා.

ඒක තමයි මේ කතාවෙන් අපට මතක් කර දෙන වැදගත්ම අදහස. හැබැයි මෙකෙන් කියන්නෙ "හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා" කියන අදහස නම් නෙවේ හොඳේ....
මේකෙන් කියන්නෙ අද දවසේදි අපි අපරාදෙ මග හැරගන්නා හිතේ තෘප්තිය එහෙම මග හැර ගන්නෙ නැතුව හැම දවසක්ම තෘප්තිමත්ව ගත කරන්න කියන එකයි.

ඇත්තෙන්ම බැලුවොත් කාලය කියන එක අපට අයිති නෑ. අල්මාරි පෙට්ටගම් වලවත් උණුවතුර බෝතල් ශීතකරණ වලවත් දාලා ආරක්ෂා කරගන්න පුලුවන් දෙයක් නෙමේ. දෑතින් බදලා අල්ලන්න පුළුවන් දෙයක් නෙමේ. කාලය කියන්නෙ මේ මොහොතෙදි වර්තමානයේදි අපිට පාවිච්චි කරන්න දීලා තියන වටිනා තෑග්ගක් විතරයි. ඒක මේ මොහොතෙදි පාවිච්චි කරන්න ඕනේ. තියා ගන්න බෑ. ඉතින් මේ වර්තමාන මොහොත තමයි ඇත්තෙන්ම බැලුවොත් අපේ ජීවිතය කියන්නෙ. ඊළග දවස ඊළග පැය ගැන කාටද සහතිකයක් දෙන්න පුළුවන් ?... මහා බල සම්පන්න රජෙකුට වුණත් බෑ. ඊළග විනාඩිය පහුකරන බවට සහතිකයක් දෙන්න. 

"Yesterday is history, Tomorrow is a mystery and Today is a factory" කියලා කවුදෝ කියලා තිබුණා. ඊයෙ කියන්නෙ ඉතිහාසය, හෙටෙ කියන්නෙ අභිරහසක් ඒත් අද කියන්නෙ කර්මාන්ත ශාලාවක් කියන අදහස කියවෙන්නෙ.

ඇත්ත නේද ?. ඊයෙ ගැන මොනවද අපට කරන්න පුළුවන්. හෙට ගැන කාටද විස්වාස කරන්න පුළුවන්. ඒත් අද දවස කියන්නෙ ඇත්තෙන්ම බොහෝ දේ කල හැකි බොහෝ දේ නිෂ්පාදනය කල හැකි ෆැක්ටරියක් තමයි නේද ?.

මේ මොහොතේ අපට මොන තරම් නිර්මාණ කරන්න පුළුවන්ද ?. අනිත් අයව සතුටු කරන්න පුළුවන්ද ? අදරේ කරුණාව දක්වන්න පුළුවන්ද ? රටට ලොවට වැඩදායක දේවල අපට කරන්න පුළුවන්ද ?. මේ මොහොත කියන්නෙ අපේ ජීවිතයේ අපිට ලද හැකි උතුම්ම වටිනාම තෑග්ග නෙමේද කියලා ගැඹුරෙන් හිතලා බලන්න. ඔබ එකඟ වේවි. අපි අතින් සමහර වැරදි වැඩ, මෝඩ වැඩ, නිෂ්ඵල වැඩ වෙන්න පුළුවන්. මිනිසුන් වශයෙන් ඒක ස්වභාවිකයි. ඒත් ජීවිතය වර්තමාන විනාඩියෙන්, පැයෙන්, දවසෙන් කොටස් කරගෙන ජීවත් වුණොත් අපේ නිශ්ඵල වැඩ, වැරදි වැඩ, මෝඩ වැඩ ගොඩක් අඩු කරගන්න පුළුවන්. හැම විනාඩියක්ම, හැම පැයක්ම, හැම දවසක්ම අර්ථවත්, යහපත්, සාර්ථක බවකින් පුරවන්න පුළුවන්. 

අද දවස ඒ විදියට, ප්‍රයෝජනවත් විදියට, වටිනා විදියට, යහපත් විදියට ගත කලොත් හෙට දවස ගැන කරදර වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. වර්තමානයෙදි අපි ගත කරන හැම මොහොතකම අපි ක‍රන දේ තමයි අතීතයට තැම්පතුවක් වගේ ඉතුරු වෙන්නෙ. වර්තමානෙ නිෂ්ඵලට, අලසව, වැරදි විදිහට ගත කළොත් අතීතයෙ තැම්පතුවක් වෙන්නේ ඒවම තමයි. ඉතින් අනාගතේ ගැන ඕනවට වඩා හිත කනස්සලු කරගන්නත් එපා. අතීතය ගැන හිත හිත වේදනා විඳින්නත් එපා. වර්තමානය කියන උතුම් නිධානයේ අසිරිය ගැන හිතන්න. ජීවිතය සෞභාග්‍යයෙන් පුරවාගන්න. 

ඔබට ලැබී තියෙන මහඟු අවස්ථාව ගැන හිතන්න. පුටුව උඩට වෙලා, ඇඳට ගුලි වෙලා කල්පනා කරන්න එපා. ජීවත් වීම මේ මොහොතේ ප්‍රීතිමත් අත්දැකීමක් කරගන්න. නැගිටින්න අර නොලියපු ලියුම, මැසේජ් එක දැන් ලියන්න, ටයිප් කරන්න. කෙනෙකුගෙ හිත හදන්න දෙන්න ඕනෙ කියලා හිටපු කෝල් එක දැන් දෙන්න. වයසක අම්මට තාත්තට ආදරේ පෙන්නන්න පරක්කු වෙන්න එපා. ඒකට හොඳම මොහොත මේ මොහොතයි. යන්න ඒ ගොල්ලන්ට ආදරයෙන් වචනයක් දෙකක් කතා කරන්න. හිස ටිකක් පිරිමදින්න, ඇඳුමක් හෝදලා දෙන්න. ගොඩක් වයස නම් කෑම ටිකක් කවන්න. හෙට ප්‍රමාද වැඩි වෙන්න පුලුවන්. 

ඕනෑම කෙනෙක්ට සෙනෙහස පෙන්වන්න සුදුසුම වෙලාව මේ මොහොතයි. කාට හරි ඔබෙන් වරදක් වුණා නම් සමාව ගන්න හොඳම මොහොත මේ මොහොතයි. අනාගතේ වාසනාවන්ත කරගන්න තියන මාවත මේ මොහොතයි. අපරාදෙ මට අර දේ කරන්න තිබුණා, මට මේ දේ කරන්න තිබුණා කියලා පසුතැවෙන්න ඉඩ තියා ගන්නෙ ඇයි ?.. මැරීගෙන සල්ලි හම්බ කරනවට වඩා බිරිඳ / සැමියා දරුවො ගැන දැන් හිතන්න. සල්ලි හම්බකරලා පස්සෙ බැරියැ පවුල සතුටු කරන්න කියලා හිතන්න එපා. 

වටිනා අවස්ථාවකට කියලා ඕනවට වඩා පරිස්සමට දේවල් හංගලා තියන්න එපා. කවදාවත් පාවිච්චි නොකර පුස් බැඳෙන්නත් පුළුවන්. පිළිවෙලට ඇන්දාට කමක් නෑ සමන්‍ය වුණත්. ඔබට තැගි ලැබුණ සුවඳ විලවුන් බෝතලේ හංගලා තියන්න එපා. පුංචි මිහිරි සුවඳක් ඇඳුමට ආවට කමක් නෑ. මල් සුවඳක් දැවටෙනවා වගේ අද, කවදා හරි දවසක මතු දවසක කියන වචන ගැන ඕනවට වඩා විස්වාස තියන්නත් එපා. 

පාසලක හිටපු අන්තිම දරුණු අකීකරු සිසුවෙක් එයාගෙ අම්මගෙ හදිසි වියෝවෙන් පස්සෙ සම්පූර්ණයෙන්ම ජීවිතේ වෙනස් කරගෙන කීකරු දරුවෙක් වුණාලු. අම්මා නැති වුනේ තමන්ගෙ මුරණ්ඩු නොසන්ඩාල වැඩ හින්දා බව ඒ සිසුවා කිව්වලු. ඒත් ඒ යහපත් වෙනස් වීම ඒ මවගෙ වියෝවට කලින් සිදුවුණා නම් කොච්චර හොදද. අද සමාජයේ බොහෝ දෙනෙක් මේ වගේ පසුතැවෙන්නෙ බොහෝ විට පමා වැඩි වෙලා කිසිම දෙයක් කරගන්න බැරි විදියට අතීතයේ තැම්පත් වුණාට පස්සෙ. 

ඉතින් ඒ හින්දා මේ මොහොතේ වටිනාකම ගැන මේ මොහොතේම ටිකක් නිස්කලංකව හිතන්න. කොච්චර කාර්ය බහුල තත්වෙක හිට්යත් එක විනාඩියක විරාමයක් අරගෙන මේ දැන්ම ඒ ගැන හිතන්න. පෙරහැර ගියාට පස්සෙ පාර සරසල වැඩක් නෑනෙ. ඒ වගේ ජීවිතේ බොහෝ දේ අතීතයට ගියාට පස්සෙ ඒ ගැන හිතලා වැඩක් නෑ. පස්සට ප්‍රයෝජන ගන්න දේවල් හංගනවට වඩා මෙ මොහොතෙ ඒක ප්‍රයෝජනයට අරගෙන තෘප්තිමත් වෙන එක ඊට වඩා බොහෝ සෙයින් නැණවත් විය හැකියි. අපි ගොඩ දෙනෙක් ජීවත් වෙන්න ලෑස්ති වෙනවා මිසක් ජීවත් වෙන්නෙ නෑ. මේ මොහොතෙ ජීවත්වෙන්නෙ නෑ.

හිතන්න ඒ ගැන. මෙ මොහොතට උඩින් විදුලි වේගයෙන් අනාගතයට පියඹනවාට වඩා මේ මොහොත සතුටින් තෘප්තිමත් බවින් තමන්ටත් අනුන්ටත් යහපතක්ම වෙන විදියට ගත කරන්න පුළුවන් නම් ඒක නේද ඇත්තටම ජීවිතය කියන්නෙ.

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...