තවත් එකක්..............










මේ දවස් වල වැඩත් එක්ක බ්ලොග් එක ලියන එක නවත්තලා තිබුනෙ. ලියන්න කියලා හරි හමන් දෙයක් හිතට ආවෙත් නෑ. ඒ හින්දම බ්ලොග් එක තියනවද කියලවත් බලන්න බැරි උණා. 

අදත් කියන්න යන්නෙ තවත් කෙල්ලෙක් ගැන.  මේ සිද්දිය වුනේ මම කාලයක් තිස්සෙ ආශ්‍රය කරන මගේ ලඟම යාළුවෙකුට. නමින් ඒ චමිල. මගෙ වයසෙම වෙච්චි චමිල මට මුණ ගැහෙන්නෙ රැකියා ස්ථානයකදි. මුලදි අපි දෙන්න අතර ලොකු හිතවත් කමක් තිබුනෙ නෑ. මගෙ වයසෙම කොල්ලෙක් විදියට විනෝදයට බර තවත් එක යාළුවෙක් විදියට චමිල මට හිතවත් උණා.

අපි එකට කෑවා බිව්වා, ට්‍රිප් ගියා, වෙඩින් වලට ගියා තව ගොඩක් දේවල් කලා. අදටත් අපි තැනකට සෙට් උනොත් දවස් ගානක් කතා කරන්න දේවල් අපි ඒ දවස් වල කරලා තිබුණා. 

චමිල කියන්නෙ ගොඩක් සංවේදී කෙනෙක්. ආදරේ වෙනුවෙන් මැරෙන්න උනත් දෙපාරක් හිතන්නෙ නැති ජාතියෙ කොල්ලෙක්. මට හම්බ වෙන්න කලින් ගෑණු ළමයි දෙතුන් දෙනෙක් එක්ක සම්බන්ද කම් තිබුනා කියලා මට කියලා තිබුණා. 

මෙහෙම ඉන්න අතරේ සමාජශාලා වෙබ් අඩවියකින් චමිල ගෑණු ළමයෙක් අඳුන ගන්නවා. කියන්න තරම් වැරද්දක් තිබුනෙත් නෑ කෙල්ලගෙ. දෙන්න හොඳට ගැළපෙන බවක් පේන්න තිබුණා. මමත් හිතුවෙ ගොඩක් ආදරෙන් ඉන්නවා කියලා. ගොඩක් සඳුදා වල උදේම චමිල මා ලගට ඇවිත් කියන්නෙ දෙන්නත් එක්ක ගිය ගමන් ගැනයි උණ දේවල් ගැනයි. 

සම්බන්දය පටන් අරන් මාස 5කට පස්සෙ කෙල්ලගෙ ගෙදරින් මේ සම්බන්දෙ දැන ගන්නවා. ලොකු අවුලක් නැතුව චමිල කෙල්ලගෙ ගෙදරට ගිහින් සම්බන්දෙ ගැන කීවම කෙල්ලගෙ දෙමව්පියනුත් මේ ගැන හොයලා බලන්න තීරණය කලා. 

කෙල්ල කොලඹ. ඉතින් ගෙවල් දෙකේ කට්ටියම දැන අඳුන ගෙන දෙන්නට අනාගතේ ගොඩනගා ගන්න අවස්ථාව ලබා දෙනවා. තවත් මාස තුනකට පස්සේ එන්ගේජ්මන්ට් එකට දින දාගත්තා. වෙඩිං එක ගන්න අවුරුද්දක් විතර යන නිසා එන්ගේජ්මන්ට් එක ටිකක් ලොකුවට ගත්තා. හොටෙල් එකක, කෑම බීම ඇතුලු හැම දෙයක් එක්කම අපෙත් සහභාගීත්වය ඇතුව ඉතාම ලස්සනට එදා දවස ගෙවුණා. 

හරියටම මාස දෙකකට පස්සෙ සඳුදා උදේක චමිල මා ළගට ඇවිත් කිව්ව දේ මට අදහා ගන්න බැරි උණා. මචං කෙල්ලට ඩිවෝස් වෙන්න ඕනේලු බන් මොනා කරන්නද මන්දා පිස්සු වගේ කියලා විස්තර ගොඩාක් කියාගෙන ගියා. මමත් කෙල්ලට කතා කරලා ඇහුව මොකද කියලා. කෙල්ල මට කිව්වෙ අයියෙ ඔයාට වැඩක් නෑනෙ අපේ දේවල් අපි ඒවා විසඳගන්නම් කියලා. තවත් අපේ යාළුවො කීපදෙනෙක් ම කතා කලත් වැඩක් උණේ නෑ. 

අන්තිමට කෙල්ල විවෝස් වෙන්න නඩුවක් දාලා. චමිල කියන විදියට හේතුව විදියට කෙල්ල කියන්නෙ චමිලගෙ ආදරේ එයාට කරදරයක්ලු. කෙල්ල හිතන්නෙ චමිල එයා ගැන සැකෙන්ලු ඉන්නෙ. දැන් කොහොම හරි හැම දේම වෙලා ඉවරයි. චමිල හිත්වේදන්නවෙන් කාලය ගත කරමින් ඉන්නවා. 


ප/ලි: මේ සීන් එක හින්දා පහුගිය ටිකේම හැන්දෑවට චමිලත් එක්ක දුක තුනී කරගන්න උණා. 

මෙහෙමත් කෙල්ලෝ...........



දැනට මාසෙකට විතර කලින් මට කෝල් එකක් ආවා මගෙ යාළුවෙකුගෙන්. යාළුවගෙ නම් චන්දික කියමුකො. මෙහෙමයි අපි දෙන්න අතර කතාව ගියෙ...

චන්දික : හලෝ නචිය, මොකද කරන්නෙ, කොහෙද බන් ඉන්නෙ..
මම : අඩෝ චන්දිකයා, අද හාෆ් ඩේ ආවා බන්, කොලඹ යන්න බස් එකට නැග්ගා විතරයි
චන්දික : ඉතිං මචං... පොඩි උදවක් ඉල්ලගන්න පුළුවන්ද බලන්න කතා කලේ..
මම : කියපන් මචෝ පුළුවන් දෙයක් නම් ඉතිං ආයෙ අහන්න දෙයක් නෑ ඕකේ
චන්දික : මචං, මගෙ වෙඩිං එක ජනවාරි, කතා කලේ උඹට පුළුවන්ද බෙස්ට් මන්ට ඉන්න කියල බලාගන්න බන්..
මම : අනේ සොරි මචෝ, මම දැනට දෙකකට ඉඳලා තියනවා, තව එකක් ආවා මම බෑ කිව්වා, තුනකට ඉන්න ඉන්න හොඳ නෑළුනෙ බන්, කෙල්ල කියනවා ඉන්න එපාලු, ඒකයි කලින් එකටත් බෑ කිව්වෙ බන්...
චන්දික : එහෙමද, අවුලක් නෑ බන්, පියල්ට කතා කරලා බලන්නම්...
මම : අවුලක් නෑ නේද බන්
චන්දික :  නෑ මචෝ, පස්සෙ සෙට් වෙමුකො එහෙනම්
මම : එළ මචං, එහෙනම් තිබ්බා...

එදයින් පස්සෙ චන්දික මට කෝල් කලේ නෑ. තරහකට නෙවේ. සෙට් වෙන වෙලාවක කෝල් එකක් දුන්නොත් ඇරෙන්න නිකමට කෝල් එකක් දෙන්නෑ චන්දිකයා. ගිය සතියෙ මට පියලව හම්බුණා. පියල් එක්ක කතා බහ ගියෙ මෙහෙමයි..

මම : හලෝ පියලා, කොහොමද මචං..
පියල් : අඩෝ නචියා, ඉන්නවා මචං උඹලගෙ පිහිටෙන් අපේ වියදමෙන් (කවුරු ඇහුවත් කියන්නෙ ඔය ටික තමයි) 
මම : ඒක නෙමේ මචං, චන්දිකයගෙ වෙඩින් එක නේද ජනවාරි,  උඹට කතා කලාද බෙස්ට් මන්ට
පියල් : ඔව් බන් මාර වැඩක්නෙ ඌට වෙලා තියෙන්නේ. වෙඩින් එක කැන්සල්, හොටෙල් එකත් බුක් කරලා තිබුනෙ ඒකත් කැන්සල් කලා බන්.
මම : අඩේ ඒ මොකද බන්, මොකක්ද අවුල...
පියල් : මාර කෙල්ලෙක් බන් ඒකි, මාතර එවුන්නේ, පවුං පහක මාලෙකුයි පවුමක මුද්දකුයි ඉල්ලලා චන්දිකයගෙන්..
මම : ඈ යකෝ මාර කෙල්ලෙක්නෙ බන්
පියල් : ඒ ටික නැත්නම් මේක කෙරෙන්නෙ නෑ කිව්වළු. චන්දිකයගෙ තාත්තා ඒකිගෙ ගෙදරට කතා කරලා මගුල නවත්තලා දැම්මා.
මම : පව් බන් චන්දිකයා, ඔය තුන් වෙනියට කෙරෙන්නම ගිය එක, කලින් දෙකෙත් අවුල් වුනානෙ.
පියල් : ඔව් බන් මොනා කරන්නද, පතාගෙනම අපු එකා එනකල් ඉන්න වෙනාවා.

තවත් දේවල් කතා කරලා මම පියල්ගෙන් සමු අරගෙන ආවා. ඔන්න ඉතිං මෙහෙමත් කෙල්ලො කිව්වට ඔක්කොම එහෙම නෑ. මෙහෙම අයත් ඉන්නවා කියලා කියන්න තමයි මේ කතාව දැම්මෙ.


ප. ලි. - නම් ගම් මනංකල්පිතයි. සත්‍ය සිදිවීමක්

සතුට.........

 













එක පුද්ගලයෙක් එයාගෙ බිරිඳගෙ අල්මාරිය ඇරලා ලස්සන සුදු ඇඳුමක් හෙව්වලු. එතකොට ලස්සන කවරෙක දාලා නමල තිබුණ සුදු ඇඳුමකුයි රිදී පාට මාල කීපයකුයි හම්බ වෙලා. 
ඔහු ඒ සේරම අතට අරගෙන ගොඩාක් වෙලා කල්පනා කරද්දි මතක් වුණාලු දැනට අවුරුදු අටකට නවයකට වගේ උඩදි ඒ ගොල්ලො පිටරටක නිවාඩුවකට ගිය වෙලාවෙයි ඒ ඇඳුම් ආයිත්තම් මිලදී ගත්තෙ කියලා. ඒ ඇඳුම් ඔහුගෙ බිරිඳ පාවිච්චි කරලම නෑ. අවුරුදු ගණනාවක් තිස්සෙ ඒ ගත්තු විදියටම අල්මාරියෙ තිබිලා.

විශේෂ දවසකට අඳින්න තියාගෙන ඉන්නවා කියලා තමයි බිරිඳ කියලා තියෙන්නේ.

ඒ ඇඳුම් ආයිත්තම් දෑතින් අරගෙන ඇඬූ කඳුළින් අසලින් හිට්පු එයාගෙ මිත්‍රයට මෙහෙම කිව්වලු.

මගේ බිරිඳ කවදාවත් මේවා ඇන්දෙ නැත්තෙ වැදගත් දවසකට අඳින්න කිය කිය හිටපු හින්දා. සමහර විට ඒ වැදගත් දවස අද වෙන්න ඇති....  

ඔහු තම මිතුරාත් එක්ක ඒ ඇඳුම අරගෙන යන්න සූදානම් උණේ කොහෙද දන්නවද ?. ඔහුගෙ මියගිය බිරිඳගේ මෘත දේහයට අන්දවන්න. 

අවමංගල උත්සවයෙන් පස්සෙ ඒ සැමියා තම මිතුරාට අවවාදයක් දුන්නලු. 
"කිසිම දෙයක් විශේෂ අවස්ථාවකට කියලා පාවිච්චි නොකර ඉන්න එපා. අපි කොයි වෙලාවෙ මැරෙයිද කවුද දන්නෙ. ඒ හින්දා හැම දවසක්ම වැදගත් දවසක් කියලා හිතලා ඒ දවස හොඳට සම්පූර්ණ විදියට වීවත් වෙන්න. නැතුව අනාගතේ වෙනුවෙන් දේවල් රැස් කරන එක මෝඩ කමක්".

අපි අනාගතේ ගැන කිසියම් දළ සැලැස්මක් ඇතිව වැඩ කරන එකේ වරදක් නැහැ. ඒත් ඉහත පුංචි කතාවෙන් අපට ජීවිතයට ඉගෙන ගන්න දෙයක් තියනවා. 

ඕනවට වඩා අනාගතේ ගැන කරදර වෙන්න එපා. අද දවසේ වින්දනය හෙට දවසට තියන්න එපා.

ඒක තමයි මේ කතාවෙන් අපට මතක් කර දෙන වැදගත්ම අදහස. හැබැයි මෙකෙන් කියන්නෙ "හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා" කියන අදහස නම් නෙවේ හොඳේ....
මේකෙන් කියන්නෙ අද දවසේදි අපි අපරාදෙ මග හැරගන්නා හිතේ තෘප්තිය එහෙම මග හැර ගන්නෙ නැතුව හැම දවසක්ම තෘප්තිමත්ව ගත කරන්න කියන එකයි.

ඇත්තෙන්ම බැලුවොත් කාලය කියන එක අපට අයිති නෑ. අල්මාරි පෙට්ටගම් වලවත් උණුවතුර බෝතල් ශීතකරණ වලවත් දාලා ආරක්ෂා කරගන්න පුලුවන් දෙයක් නෙමේ. දෑතින් බදලා අල්ලන්න පුළුවන් දෙයක් නෙමේ. කාලය කියන්නෙ මේ මොහොතෙදි වර්තමානයේදි අපිට පාවිච්චි කරන්න දීලා තියන වටිනා තෑග්ගක් විතරයි. ඒක මේ මොහොතෙදි පාවිච්චි කරන්න ඕනේ. තියා ගන්න බෑ. ඉතින් මේ වර්තමාන මොහොත තමයි ඇත්තෙන්ම බැලුවොත් අපේ ජීවිතය කියන්නෙ. ඊළග දවස ඊළග පැය ගැන කාටද සහතිකයක් දෙන්න පුළුවන් ?... මහා බල සම්පන්න රජෙකුට වුණත් බෑ. ඊළග විනාඩිය පහුකරන බවට සහතිකයක් දෙන්න. 

"Yesterday is history, Tomorrow is a mystery and Today is a factory" කියලා කවුදෝ කියලා තිබුණා. ඊයෙ කියන්නෙ ඉතිහාසය, හෙටෙ කියන්නෙ අභිරහසක් ඒත් අද කියන්නෙ කර්මාන්ත ශාලාවක් කියන අදහස කියවෙන්නෙ.

ඇත්ත නේද ?. ඊයෙ ගැන මොනවද අපට කරන්න පුළුවන්. හෙට ගැන කාටද විස්වාස කරන්න පුළුවන්. ඒත් අද දවස කියන්නෙ ඇත්තෙන්ම බොහෝ දේ කල හැකි බොහෝ දේ නිෂ්පාදනය කල හැකි ෆැක්ටරියක් තමයි නේද ?.

මේ මොහොතේ අපට මොන තරම් නිර්මාණ කරන්න පුළුවන්ද ?. අනිත් අයව සතුටු කරන්න පුළුවන්ද ? අදරේ කරුණාව දක්වන්න පුළුවන්ද ? රටට ලොවට වැඩදායක දේවල අපට කරන්න පුළුවන්ද ?. මේ මොහොත කියන්නෙ අපේ ජීවිතයේ අපිට ලද හැකි උතුම්ම වටිනාම තෑග්ග නෙමේද කියලා ගැඹුරෙන් හිතලා බලන්න. ඔබ එකඟ වේවි. අපි අතින් සමහර වැරදි වැඩ, මෝඩ වැඩ, නිෂ්ඵල වැඩ වෙන්න පුළුවන්. මිනිසුන් වශයෙන් ඒක ස්වභාවිකයි. ඒත් ජීවිතය වර්තමාන විනාඩියෙන්, පැයෙන්, දවසෙන් කොටස් කරගෙන ජීවත් වුණොත් අපේ නිශ්ඵල වැඩ, වැරදි වැඩ, මෝඩ වැඩ ගොඩක් අඩු කරගන්න පුළුවන්. හැම විනාඩියක්ම, හැම පැයක්ම, හැම දවසක්ම අර්ථවත්, යහපත්, සාර්ථක බවකින් පුරවන්න පුළුවන්. 

අද දවස ඒ විදියට, ප්‍රයෝජනවත් විදියට, වටිනා විදියට, යහපත් විදියට ගත කලොත් හෙට දවස ගැන කරදර වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. වර්තමානයෙදි අපි ගත කරන හැම මොහොතකම අපි ක‍රන දේ තමයි අතීතයට තැම්පතුවක් වගේ ඉතුරු වෙන්නෙ. වර්තමානෙ නිෂ්ඵලට, අලසව, වැරදි විදිහට ගත කළොත් අතීතයෙ තැම්පතුවක් වෙන්නේ ඒවම තමයි. ඉතින් අනාගතේ ගැන ඕනවට වඩා හිත කනස්සලු කරගන්නත් එපා. අතීතය ගැන හිත හිත වේදනා විඳින්නත් එපා. වර්තමානය කියන උතුම් නිධානයේ අසිරිය ගැන හිතන්න. ජීවිතය සෞභාග්‍යයෙන් පුරවාගන්න. 

ඔබට ලැබී තියෙන මහඟු අවස්ථාව ගැන හිතන්න. පුටුව උඩට වෙලා, ඇඳට ගුලි වෙලා කල්පනා කරන්න එපා. ජීවත් වීම මේ මොහොතේ ප්‍රීතිමත් අත්දැකීමක් කරගන්න. නැගිටින්න අර නොලියපු ලියුම, මැසේජ් එක දැන් ලියන්න, ටයිප් කරන්න. කෙනෙකුගෙ හිත හදන්න දෙන්න ඕනෙ කියලා හිටපු කෝල් එක දැන් දෙන්න. වයසක අම්මට තාත්තට ආදරේ පෙන්නන්න පරක්කු වෙන්න එපා. ඒකට හොඳම මොහොත මේ මොහොතයි. යන්න ඒ ගොල්ලන්ට ආදරයෙන් වචනයක් දෙකක් කතා කරන්න. හිස ටිකක් පිරිමදින්න, ඇඳුමක් හෝදලා දෙන්න. ගොඩක් වයස නම් කෑම ටිකක් කවන්න. හෙට ප්‍රමාද වැඩි වෙන්න පුලුවන්. 

ඕනෑම කෙනෙක්ට සෙනෙහස පෙන්වන්න සුදුසුම වෙලාව මේ මොහොතයි. කාට හරි ඔබෙන් වරදක් වුණා නම් සමාව ගන්න හොඳම මොහොත මේ මොහොතයි. අනාගතේ වාසනාවන්ත කරගන්න තියන මාවත මේ මොහොතයි. අපරාදෙ මට අර දේ කරන්න තිබුණා, මට මේ දේ කරන්න තිබුණා කියලා පසුතැවෙන්න ඉඩ තියා ගන්නෙ ඇයි ?.. මැරීගෙන සල්ලි හම්බ කරනවට වඩා බිරිඳ / සැමියා දරුවො ගැන දැන් හිතන්න. සල්ලි හම්බකරලා පස්සෙ බැරියැ පවුල සතුටු කරන්න කියලා හිතන්න එපා. 

වටිනා අවස්ථාවකට කියලා ඕනවට වඩා පරිස්සමට දේවල් හංගලා තියන්න එපා. කවදාවත් පාවිච්චි නොකර පුස් බැඳෙන්නත් පුළුවන්. පිළිවෙලට ඇන්දාට කමක් නෑ සමන්‍ය වුණත්. ඔබට තැගි ලැබුණ සුවඳ විලවුන් බෝතලේ හංගලා තියන්න එපා. පුංචි මිහිරි සුවඳක් ඇඳුමට ආවට කමක් නෑ. මල් සුවඳක් දැවටෙනවා වගේ අද, කවදා හරි දවසක මතු දවසක කියන වචන ගැන ඕනවට වඩා විස්වාස තියන්නත් එපා. 

පාසලක හිටපු අන්තිම දරුණු අකීකරු සිසුවෙක් එයාගෙ අම්මගෙ හදිසි වියෝවෙන් පස්සෙ සම්පූර්ණයෙන්ම ජීවිතේ වෙනස් කරගෙන කීකරු දරුවෙක් වුණාලු. අම්මා නැති වුනේ තමන්ගෙ මුරණ්ඩු නොසන්ඩාල වැඩ හින්දා බව ඒ සිසුවා කිව්වලු. ඒත් ඒ යහපත් වෙනස් වීම ඒ මවගෙ වියෝවට කලින් සිදුවුණා නම් කොච්චර හොදද. අද සමාජයේ බොහෝ දෙනෙක් මේ වගේ පසුතැවෙන්නෙ බොහෝ විට පමා වැඩි වෙලා කිසිම දෙයක් කරගන්න බැරි විදියට අතීතයේ තැම්පත් වුණාට පස්සෙ. 

ඉතින් ඒ හින්දා මේ මොහොතේ වටිනාකම ගැන මේ මොහොතේම ටිකක් නිස්කලංකව හිතන්න. කොච්චර කාර්ය බහුල තත්වෙක හිට්යත් එක විනාඩියක විරාමයක් අරගෙන මේ දැන්ම ඒ ගැන හිතන්න. පෙරහැර ගියාට පස්සෙ පාර සරසල වැඩක් නෑනෙ. ඒ වගේ ජීවිතේ බොහෝ දේ අතීතයට ගියාට පස්සෙ ඒ ගැන හිතලා වැඩක් නෑ. පස්සට ප්‍රයෝජන ගන්න දේවල් හංගනවට වඩා මෙ මොහොතෙ ඒක ප්‍රයෝජනයට අරගෙන තෘප්තිමත් වෙන එක ඊට වඩා බොහෝ සෙයින් නැණවත් විය හැකියි. අපි ගොඩ දෙනෙක් ජීවත් වෙන්න ලෑස්ති වෙනවා මිසක් ජීවත් වෙන්නෙ නෑ. මේ මොහොතෙ ජීවත්වෙන්නෙ නෑ.

හිතන්න ඒ ගැන. මෙ මොහොතට උඩින් විදුලි වේගයෙන් අනාගතයට පියඹනවාට වඩා මේ මොහොත සතුටින් තෘප්තිමත් බවින් තමන්ටත් අනුන්ටත් යහපතක්ම වෙන විදියට ගත කරන්න පුළුවන් නම් ඒක නේද ඇත්තටම ජීවිතය කියන්නෙ.

නිර්මලරාජන්ගේ අම්මා...


ආත්මය මිලානව තිබිණි
මම නිමල්ගේ අම්මාට ලියුමක් ලිවීමි
"කිසිදාක දැක නැති
දයාබර අම්මේ,
ඔබ දැක ගන්න එන්නවත්
මුන් අපට ඉඩ දෙන්නෑ

අම්මාවරුන්වත් මෙහෙ වුන් හඳුනන්නෑ
දරුකම කියන දේවත් මේ 
කිසි කෙනෙක් දන්නෑ"

ඈ හැරෙන තැපෑලෙන් 
මා අමතා තිබුණා ය
"පුතේ උඹේ අත් අකුරු
නිමල්ගෙ අත් අකුරු වගේමයි
උඹ බලන්නත් ආසයි"

ඇගේ ලිපියෙන්
මගේ ආත්මය යළි වරක් විකසිත විය

සියලු බැරියර් බිඳගෙන 
මම ඈ දකින්නට ගියෙමි

ඉරි තැලුන දෙපා සිම්ඹෙමි
"අම්මේ ඔබේ දෙපා
අපේ අම්මගෙ දෙපා වගේමයි"

ඇය නැඹුරු වී 
ස්නේහයේ සුරතින්  
මහිස පිරිමැද්දා ය
"පුතේ නුඹේ හිස  
නිමල්ගෙ හිස වගේමයි"

මම සීරුවෙන්
ඈ අභියස සිට ගතිමි
"අම්මේ ඔබේ සුරත
අපෙ අම්මගෙ සුරත වගේමයි"
ඇය නොසෙල්වී
නෙතු පියන් නොහොල්ලා
මා දෙසම බලා උන්නා ය

මම සිනාසීමට යත්න දැරීමි
"පුතේ නුඹේ සිනහව
නිමල්ගේ සිනහව වගේමයි"

ඉක්බිති
ඈ දෙනෙත් අභියෙන් 
සිහින් දිය දහරක් ගලා හැලිණ

"අම්මේ ගිය කඳුළු
අපේ අම්මගෙ කඳුළු වගෙමයි"


------------------------------------------------------------------------------------------------------------------------------------

ප. ලි. - මටත් බ්ලොග් එකක් තිබුණා නේද කියලා මතක් වුනේ අද උදේ. දෙයියනේ කියලා වැඩ ටික ඉවර කරලා බස් එක පැත්තෙ කරක් ගහනකොට තමයි මතක් වුනේ. ලියන්න කියලා දෙයක් ඔලුවට ආවෙ නැති වුනත් මොනවා හරි ටිකක් කොටලා යන්න කියලා ආවේ. ආයෙ කවදා මේ පැත්තට එන්න වෙයිද දන්නෙ නැති නිසා.

අනේ මන්දා......



අන්තිමටම කළකිරිලා ඉන්න වෙලාවක්. ඒකට හේතුව කියන්නෙ මගෙත් එක්ක සම්බන්ද වෙලා ඉන්න මිනිස්සු එකම එක්කෙනෙක් ඇරෙන්න. සමහරු හිතන්නෙ තමන්ගෙ පැත්තෙන් විතරමයි. මේ ඔක්කොම කරන්න ඕන තනි මම කියන එක මුන්ට තෙරෙන්නෙ නැද්ද. එක්කො ඒක තෙරුම් අරන් මාවම තලන්න හදනවද කියලත් වෙලාවකට මට හිතෙනවා.

ඔෆිස් එකට ගියත් එතනත් වැඩ කරන්නෙ මම විතරද කියලත් මට හිතෙනවා. සමහරු කියනවා නචි ඔයාට තමයි හොදටම ඒටික කරන්න පුළුවන්. වෙන කෙනෙකුට දීලා මොකක් හරි වැරැද්දක් වුනොත්. එහෙම කියලා එක වැඩක් ඉවර වෙද්දි තව වැඩ දෙක තුනක් පෙන්ඩින්ග් ලිස්ට් එකේ තියනවා. තව මාස දෙකෙන් දෙකට හදන්න තියන රිපෝට්, ඒවට අවශ්‍යය තොරතුරු ගන්න ගියාම තමයි එපා වෙන්නෙ. මීටින් එක තියෙන්නේ හවස නම් මම එදා උදේ තමයි රිපෝට් ටික හදලා ඉවර කරන්නෙ. ඒකවත් වෙනෙ කෙනෙකුට දෙන්නේ නෑ. නචි මේක ගොඩක් වගකීමෙන් කරන්න ඕනෙ. ඔයාට තමයි ඒක කරන්න පුලුවන්. කොච්චර කතා කලත් හැමදාම ඔතනින් තමයි නතර වෙන්නෙ. කොච්චර වැඩ තිබුනත් මට කරන්න බෑ කියලා හිතුනොත් මම ඒ වැඩ අල්ලන්නෙ වත් නැතුව නිකම්ම කාලෙ ගෙවලා යන දවස් තියනවා. බස් පදින්නවත් නොයා.

යාළුවොත් එහෙම තමයි. මට තියනවා අමාරුවක් කවුරු හරි මගෙන් දෙයක් ඉල්ලුවොත් නෑ බෑ කියන්න බැරි. මට කරන්න බැරි දෙයක් නම් කරන්න පූළුවන් කෙනෙක්ට හරි කියලා ඒ වැඩේ කරලා දෙනකම් නින්ද යන්නෙ නැති ලෙඩක්. මගෙන් සල්ල ඉල්ල ගත්ත යාළුවො ඉන්නවා ඒක මතකවත් නැති ගානට ඉන්න. මට ඒවා මතක් කරලා ඉන්න බැරි ඉකත් අර ලෙඩේම රෝග ලක්ෂනයක්.

ගෙදර මතක් වෙද්දි මගෙ ඔලුව පැලෙන්න එනවා. කරලා ඉවර කරන්න තියන වැඩ මතක් වුනාම. මේවා මට කරගන්න පුළුවන් වෙයිද ඉතුරු වෙලා තියන කාලෙත් එක්ක කියලා. කෝ අර මම මීට අවුරුදු 5ක 10ක කලින් විඳපු නිදහස. ඒ කාලෙ මොනතරම් සුන්දරද.

අනේ මන්දා....

කාලයට ඉඩ දීලා බලන් ඉන්න්වා ඇරෙන්න වෙන කරන්න දෙයක් තියෙනවාද.

නුඹ.......

ගිම්හානයට විරාමය දී
මා වෙතට වස්සානය ගෙනා

නුඹ.......

මෙතරම් නපුරු යැයි
මා කිසි දිනෙක නොසිතුවෙමි
මෙවන් නපුරු සරඳමක් 
කිසි දිනෙක නොපැතුවෙමි

පැතූ දහසක් පැතුම් පොදි
අකාලයේ මිය යද්දි
කෙසේ නම් මා ඉවසම්ද

ඔබට පමණක් පුදන්නට
පූජාසනයේ මල් පිදු මා ළඟ
නැත විකසිත වූ පියුම්
සියල්ල පරවී ගොසිනි
 
මා සිතුම් සඳැල්ලේ
නැගෙන දහසක් සිතුවිලි

නුඹ ගැනයි........

අසන්නට එක වතාවක්
හෙටක් වෙනුවෙන් 
ලොවක් පතමි මා  

ඔබේ දෙපා ළඟ
විකසිත වී පිපෙන්නට........

තිත.........

අරුත් සුන් වැකියක අවසන
නොසිතාම තැබීමි තිත ......
තක්සලාවේ ලියූ වැකි වල
කිසිදු අගයක් නැතිවම
තැබීමි තිත ......

එනමුඳු,

මහමෙරක් සේ නුඹට බැඳි පෙම
තිතක් තරමට නුඹට දැනුනට
කෙලෙස නිමවා තබන්නද තිත
නුඹට පමණක් ලියූ කවියට

අය වැය......

මුළු සයිබර් අවකාශයම එකතු කිරීමට හේතු වූ අපගේ ආදරණිය දිළුම් දිසානායක සොහොයුරා නොහොත් ඔබ සැමදෙනාම දන්නා ලංදාරියා පසුගිය වෙසක් පොහෝදින හදිස්සියේ අප අතරින් වියෝවූ නිසා අපේම සහෝදරයෙකු වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට ඔහුගේ තුන්මස් සැමරුම වෙනුවෙන් අගෝස්තුමස 21 වන ඉරු දින අප විසින් කරන්නට යෙදුනු, පිළිකා රෝහලට බෙහෙත් පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මය උදෙසා ඔබ විසින් අමාරුවෙන් උපයා සිත පිරිසිඳුව පරිත්‍යාග කල මුදල් මගින් ඒ වනවිට හදිසි ශල්‍යකර්මයක් කරගැනීමට අවශ්‍ය එන්නත් දෙකක් මිලදී ගැනීමට නොහැකිව අසරණව සිටි රෝගියෙකු වෙනුවෙන් එම එන්නත් දෙකද, රෝහල විසින් අපට ලබාදුන් ඒ වනවිට රෝහලේ නොමැති බෙහෙත් වර්ග තුනකුත් අප මිලදී ගතිමු.මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් හා අපට ලැබුන මුදල් පිලිබඳ විස්තර හා,බෙහෙත් වර්ග මිලදීගත් රිසිට් පත්, අපගේ බෙහෙත් බාරගත් බවට රෝහලෙන් දුන් ලියුමත් මේ සමඟ ඇත.

තවද, මුදල් පරිත්‍යාග කල බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වූයේ ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ නොකරන ලෙසයි. එම නිසා පහත ලැබීම් වගුවේ ඔවුනොවුන්ට වෙන් කල අංකයක් දක්වා ඇත.ඔබට ලැ
බුණු ඊ මේල් පණිවිඩයේ සඳහන් අංකය වගුවේ පරිත්‍යාග මුදල සමඟ ගැලපෙනු ඇත.


ලැබුන මුදල් :

ඔබේ අංකය
ලද මුදල
201108DD-001
1,000.00
201108DD-002
1,000.00
201108DD-003
500.00
201108DD-004
1,000.00
201108DD-005
500.00
201108DD-006
1,000.00
201108DD-007
2,500.00
201108DD-008
4,640.00
201108DD-009
1,000.00
201108DD-010
5,000.00
201108DD-011
5,000.00
201108DD-012
5,050.00
201108DD-013
500.00
201108DD-014
2,000.00
201108DD-015
200.00
201108DD-016
300.00
201108DD-017
3,000.00
201108DD-018
500.00
201108DD-019
5,000.00
201108DD-020
5,015.00
201108DD-021
1,000.00
201108DD-022
1,000.00
201108DD-023
2,000.00
201108DD-024
3,000.00
201108DD-025
300.00
201108DD-026
1,000.00
201108DD-027
1,000.00
201108DD-028
1,000.00
201108DD-029
500.00
201108DD-030
1,500.00
201108DD-031 (මුදල් සමාන කිරීමට)
525.00
එකතුව
57,530.00


වියදම්
:

අනු අංකය
බෙහෙත් වර්ගය
ඒකක මිල
(රුපියල්)
ප්‍රමාණය
මුළු මුදල
(රුපියල්)
1.
Hib Vaccines
1,380.00
01 Vial
1,380.00
2.
Pheumococol Vaccine
7,500.00
01 Vial
7,500.00
3.
Raciwel INJ 500mg / 10ml
290.00
20 Nos.
5,800.00
4.
Raciwel INJ 250mg / 10ml
175.00
20 Nos.
3,500.00
5.
Dacarbazine INJ 200mg
1,450.00
11 Nos.
15,950.00
6.
Dacarbazine INJ 500mg
3,000.00
07 Nos.
21,000.00
7.
Mesna INJ 200mg / 2ml
120.00
20 Nos.
2,400.00


එකතුව
57,530.00


රෝහලෙන් අපට දුන්න ලියුම.
 

බෙහෙත් ගත්ත බිල්




රෝහලෙන් අපට එවා තිබුණු ස්තුති ලිපිය

























දයාබර සොයුරු සොයුරියනේ, අප කෙරෙහි විශ්වාසය තැබුවාට අනේක වාරයක් පින් සිදු වේවා, එසේම නැවතත් උපදින ආත්ම භවයන්හිදී  මෙවන් අකල් මරණයක් දිලුම් සොහොයුරාට අත් නොවේවා යැයි පතමු.

ස්තුතියි!


මෙයට,

ඔබේම...
sithuvilinihadayi@gmail.com
- සීනි (සිතිවිලි නිහඩයි)
nachipu@gmail.com
- නචියා
thanojar@gmail.com
- තනෝජා රාජපක්‍ෂ
heenayak@gmail.com
- සිහින

ස්තුතියි ඔබ සැමට.........

පහුගිය සෙනසුරාදා, ඉරිදා අපිට ඉතාම වැදගත් දින දෙකක් වුණා. ඒ අපත් සමග කාලයක් ඉතා මිත්‍රශීලීව කටයුතු කල අප මිතුර දිලුම් (ඉලංදාරියා) ගේ හදිසි වියෝවෙන් තුන් මසක් ගෙවී ගිය තැන කරන්නට යෙදුන දානමය පුන්‍යකර්මය හේතුවෙනි.

පානදුරේ ළමා නිවාසය බලන්න ගිය කට්ටිය
මේ කාර්ය සදහා මුලින්ම අදහසක් ඉදිරිපත් කලේ අප කවුරුත් දන්නා හදුනන සිතිවිලි නිහඩයි. ඒ හරහා තනෝජා අක්කා, සිහින සහ මමත් ඇතුලුව මේ කාර්යයේ මූලික පියවර වශයෙත් දැනුවත් කිරීමක් කරනු ලැබුවා. එමගින් අපට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුනා.

අපි මුලින්ම තීරණය කලේ අනාථ ළමා නිවාසයකට දානයක් දෙන්න. ඒ සදහා අපි තැන් කීපයක් බලන්නත් ගියා. ගොඩ දෙනෙක් අදහස් දුන්නා මේ වැඩේදි අපට. ඒ අනුව තීරනය වුනේ මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගීන්ට කෑම බීම ලබා දීමටයි. මේ ගැන රෝහලත් සමග සාකච්චා කර ගැනීමට අප සියළුම දෙනා නියෝජනය කරමින් තනෝජා අක්කා, ලහිරු චානක, හසී පැකිලීමකින් තොරවම ඉදිරිපත් වුනා.

රෝහලෙන් කිව්වෙ කෑම බීම නැතුව ලෙඩ්ඩු මැරෙන්නෙ නෑ. බෙහෙත් නැතුව තමයි ලෙඩ්ඩු මැරෙන්නේ. පුලුවන් නම් බෙහෙත් අරන් දෙන්න කියලා. ඉතින් ඒ අනුව අපි තීරණය කලා අපි බෙහෙත් අරන් දෙන්න. මේ පිලිබදව අප මිතුරු මිතුරියන්ව දැනුවත් කලා.

අප බලාපොරොත්තු වූවටත් වඩා සහයෝගයක් ලැබුණා අපේ මිතුරු මිතුරියන්ගෙන්.  ඇත්තටම කවදාවත් හම්බ වෙලා නොතිබුන, සමහර අය කතා කරලා තිබුනෙ වත් නෑ, තව විදේශ රටවට සිටින අපේ මිතුරන් සහ එදිනෙදා අප සමගම සිටින අපේ මිතුරු මිතුරියනුත් මේ වැඩේදි අපට ගොඩක් උදව් කලා.

ඒ අනුව අපට පුලුවන් උණා මිල අධික බෙහෙත් වර්ග දෙකක් ගන්න බැරිව හිටිය ලෙඩෙකුට ඒ බෙහෙත් වර්ග දෙකත් දැන්ට රෝහලේ අඩු පාඩුව පැවති මිලෙන් වැඩි බෙහෙත් වර්ග කීපයක් ලබා දෙන්න. 
පිළිකා රෝහලට ගිය අපේ කට්ටිය

 අරන් දුන්න බෙහෙත්

බෙහෙත් බාර දුන්න අවස්ථාව

බෙහෙත් බාර දුන්න අවස්ථාව

පිළිකා රෝහලට ගිය අපේ කට්ටිය

පිළිකා රෝහලට ගිය අපේ කට්ටිය

පිළිකා රෝහලට ගිය අපේ කට්ටිය

අරන් දුන්න බෙහෙත්


සෙනසුරාදා දින (20) බෙහෙත් ලිස්ට් එක ලබා ගැනීමට සහ බෙහෙත් මිලදී ගන්නා තැන් ගැන සොයා බලන්නට වෙහෙස වූ තනෝජා අක්කා, සිහින, හසී, සිංහයා, දිනිත් කුමාර ඔබ සැමට ගොඩාක් ස්තුතියි මේ වෙනුවෙන් කාලය මිඩංගු කලාට.

දිනිත් කුමාර සමගින් හැම තැනම් ගිය වාහනේ
දිනිත් කුමාර, මම වගේම මම හිතන්නෙ කවුරුත් වැඩිය නොදන්න කෙනෙක්. දවස් දෙකේම අපිත් එක්ක හැම තැනම යන්න තමන්ගෙ වාහනය කිසිම පැකිලීමකින් තොරව අරගෙන ආවා. ස්තුතියි දිනිත් ඔබටත්.

ඒ වගේම ඉරිදා (21) මේ වැඩේට සහභාගී වු සහ මේ සදහා අධාර කල සැමටත් ස්තුතියි. මේ කාර්යය සාර්ථක කරගැනීමට සහය දුන් සැමටම ස්තුතියි. 

සිංහල බ්ලොග් අවකාශයේ "ඉලන්දාරියා" නමින් බිහිවී, අප අතර සදා නොමැකෙන මතකයක් හා වේදනාවක් ඉතිරි කර අගෝස්තු මස 18 වනදාට වියෝවෙන් තුන් මසක් සපිරෙන දිලුම් සොහොයුරාගේ ප්‍රාණකාරයා වෙනුවෙන් දෙමාපිය සහෝදර යුතුකම් ඉටුවෙද්දී, අපතින් කල යුතු යුතුකමක් ඉතා පුංචියට ඉටු කිරීම සඳහා මහරගම පිලිකා රෝහලට දානයක් දීමට අප තීරණය කලා.

 
දිනය - අගෝස්තු 21 වෙනි ඉරු දින
ස්ථානය - මහරගම පිළිකා රෝහල

මහරගම පිළිකා රෝහලට ගිය අපේ අයට (තනෝජා, ලහිරු චානක, හසී) එහෙන් කියපු විස්තරය මෙහෙමයි.

CT Unit එකෙන් තමා විස්තර ගත්තේ.. පළමු මහලේ කාමර අංක 103.
දු.ක. 0112 850252 - Ext 455

බෙහෙත් එක පෙත්තකට රු. 40ත් 200ත් අතර යනවාළු...

“ඉස්පිරිතාලෙ කෑම බීම නැතිව මිනිස්සු මැරෙන්නෙ නෑ.. ඉස්පිරිතාලෙන් කෑම බීම දෙනවා.. අපිට හිතුනට අපි එහෙම අහපු එක වැරදියි කියල එහෙම තරහ ගිය තාලෙන් නෙමේ කීවෙ... අපිට තේරුම්කරල දෙන තාලෙන් බෙහෙත් ගන්න විදියක් නැතිව තමා ගොඩක් අය මැරෙන්නෙ... එහෙම බෙහෙත් ඔයාලගෙ බජට් එකේ විදියට අරන් දෙන එක ලොකු පිනක්“

අද අඩුපාඩුවා හෙට ලැබෙන්න පුළුවන් කීවා. අපිට දෙන්න පුළුවන් දවසට කලින් දවසෙ ගිහින් ෆෝම් එකක් තියේ ඒක ෆිල් කරලා බෙහෙත් ලිස්ට් එක අරන් ඒක ගෙනත් දෙන්නයි කීවෙ පුළුවන්නම්.. එයාල සල්ලි භාරගන්නෙ නෑ කීවා.. බෙහෙත් නම් භාරගන්නවා කීවා.

ඉතින් යාළුවනේ කලින් අපි හැමෝම සෑහෙන උත්සහයක් ගත්තා ඔහුව සනීප කරගන්නට... ඒත් නොහැකි වූ බව ඔබ අප කවුරුත් දන්නා දෙයක්... ඔහුගේ නමින් කලත් කිසිම නමක් නැතිව කලත් අපට ලැබෙන පින එහෙමමයි... ඒ පිනෙන් කොටසක් ඔහුටත් අප නමින් මියගිය හැමෝටමත් පිළිගන්වමු... පුළුවන් ආධාරයක් කරන්න...

http://nachepu.blogspot.com/ නමින් බ්ලොග් අවකාශේ සැරිසරන “නචියා“ නමින් ගූගල් බස් පදින RAKJ Ranasinghe හා http://heenayak.blogspot.com/ නමින් බ්ලොග් අවකාශේ සැරිසරන “සිහින“ නමින් ගූගල් බස් පදින BLTM Balasooriya යන දෙදෙනාගේ නමින් කටුනායක කොමර්ෂල් බැංකු ශාඛාවේ දැනට මේ සදහා බැංකු ගිණුමක් ආරම්භ කර ඇති බව දන්වා සිටිමු.

RAKJ Ranasinghe
BLTM Balasooriya

Commercial Bank - Katunayake
ගිණුම් අංකය - 8250070554

විදේශ අයගේ තැම්පතු සදහා
Bank code - 7056-025
Swift code - CCEYLKLX

මුදල් දාපු අය කරුණාකරලා අපිව දැනුවත් කරන්න. හුදෙක් දැන ගැනීම පිනිස බව කරුණාවෙන් සලකන්න
thanojar@gmail.com
nachipu@gmail.com
sithuvilinihadayi@gmail.com
heenayak@gmail.com

දැනට රු. 14,500/- ක් ගිණුමට බැර කරලා තියනවා

Facebook Group - CyberFriends for Dilum (ඉලංදාරියා)
http://www.facebook.com/groups/Help.Dilum/

අපි මේ ගැන කලින් කතා කරපු බස්
https://plus.google.com/105160637786787870192/posts/DcenJHCr2dz
https://plus.google.com/105160637786787870192/posts/1TmEqqxgm9Q
https://plus.google.com/105160637786787870192/posts/jfa2PkrQJqs

ඇයි මෙහෙම දේවල් වෙන්නෙ......

මුලින්ම ස්තූතියි මගෙ සුදු මැණිකෙගෙ උපන්දිනේට සුභ පතපු හැමෝටම. බොහෝම කාර්යබහුල දින කීපයකට පස්සෙ අද ටිකක් නිදහසේ ඉන්නවා කාර්යාලයේ.
-----------------------------------------------------------------------------------

ගොඩක් කාලෙක ඉදලා මේ දේවල් මගෙ හිතේ තෙරපිලා තිබුණා. කාටවත් කියන්න හිත දුන්නෙත් නෑ. අද ඒ ඔක්කොම ටික කියන්නම්. කියමු බලන්න තම තමන්ගෙ අත්දැකීම් එහෙම තියනවන්ම්. මේවා මට කියන්න හිතුනෙ එක සිදුවීමක් එක දිගටම දකින්න ලැබුනට පස්සෙ. කතාව මෙහෙමයි. මම ටිකක් විතර දන්න පවුලක්. ඉන්නෙ තාත්තයි අම්මයි අවුරුදු 13 ක විතර දුවෙකුයි විතරයි. මම මේ පවුල ගැන දන්නවා කිව්වට ඒ අයගෙ නම් වත් මම දන්නෙ නෑ. තාත්තා පුද්ගලික ආයතනයක ගිණුම් අංශයේ තමයි වැඩ කරන්නෙ. අම්මා ගෙදර ඉන්නෙ. දුව පාසල් යනවා කෑගල්ලට. තාත්තට වයස 40 ක් විතර ඇති. අම්මා 35 ක විතර පෙනුමක් තියෙන්නේ. දැක්කම දෙපාරක් බලන්න හිතෙන තරමට ලස්සන රූපයක් තියනවා අම්මට.

මේ අම්මයි තාත්තයි අවුරුදු 5ක ආදර සම්බන්දයකට පස්සෙ දෙමාපිය අශිර්වාදය ඇතිව විවාහ වුණා. ආර්ථිකය අතින් ලොකු අඩු පාඩු තිබුනෙ නැති නිසා මේ පවුල තුල ඇත්තටම සමගියක් තිබුණා. හැම දාම උදේට දුවව ගේ ලගටම එන පාසල් වැන් රථයට නග්ගලා අම්මා යනවා මෝටර් බයිසිකලයෙන් තාත්තව ට්‍රාන්ස්පෝර්ට් එකට දාන්න. ගෙදර ඉදලා මීටර් 500 ක් විතර එහා හංදියෙන් තමයි ට්‍රාන්ස්පෝර්ට් බස් එක යන්නෙ. ඉතින් තාත්තා අම්මවත් දාගෙන එනවා බස් එක හරවන හන්දියට. තාත්තා වැඩ කරන කාර්යාලයේ පිරිමි අය තුන් දෙනෙක් ඒ හංදියෙන් බස් එකට නගිනවා. ගොඩක් දවස් වලට ඒ තුන් දෙනාම ආවට පස්සෙ තමයි තාත්ත ඔත්නට එන්නෙ.

බයික් එකත් එතනම නවත්තලා අම්මත් තාත්තත් අනිත් තුන් දෙනා එක්ක බස් එක එනකල් කතා කර ඉන්න එක හැම දාම වගේ මම දකිනවා. මම උදේට එන වෙලාවටම තමයි මේ කට්ටියත් එන්නෙ. මට මේක දකින්න ලැබෙන්නෙ මම එන ට්‍රාන්ස්පෝර්ට් වැන් එකට ඒ හංදියෙන් නගින්න ඉන්න කෙනා ටිකක් පරක්කු වෙලා එන එක පුරුද්දක් කරගෙන ඉන්න නිසා. තාත්තා බස් එකට නැග්ගට පස්සෙ අම්ම බයික් එක අරන් ගෙදර යනවා. හැම දාම මෙහෙම තමයි.

ගිය සතියෙ පාසල් නිවාඩු දුන්නට පස්සෙ දුවවත් උදේට එක්කන් එනවා තාත්තව බස් එකට දාන්න. ඒකට හේතුව මම හිතන්නෙ ඒ ගෙදර වෙන කවුරුත් නැති නිසා. අනික ඉතින් අද කාලෙ ආච්චි අම්මා කෙනෙක් වත් තනියම ගෙදරක තියලා යන්න පුලුවන්ද. ඉතින් තාත්තව බස් එකට දාලා අම්මා දුවවත් බයික් එකේ දාගෙන ගෙදර යනවා. මට මේ සිදුවීම බලන්න උනේ හරියටම දවස් තුනයි. ඒ මේ සතියේ සදුදා ඉදලා බදාදා වෙනකල් විතරයි. ඊයෙ උදේ මම ඒ හංදියට එද්දි එතන හිටියේ තාත්තත් එක්ක බස් එකට නගින තුන් දෙනාගෙන් දෙන්නෙක් විතරයි. අදත් හිටියෙ ඒ දෙන්නම විතරයි. මම ඊයෙ හවස තමයි සිද්ද වෙලා තියන දේ දැන ගන්න ලැබුනෙ.

උදේට බස් එකට නගින්න එන තුන් දෙනාගෙන් එක්කෙනෙක් එක්ක අම්මා පැනලා ගිහින්. මට හිතා ගන්න බෑ මොකක්ද මෙහෙම වෙන්න හේතුව කියලා. ඒ තරමට ඒ පවුල තුල බැදීමක් තිබුණා. තාත්තයි දුවයි දැන් තනිවෙලා. තාත්තා දවස් දෙකක් වැඩට ගිහින් නෑ. තාමත් අම්මව හොයනවා.

මේ මම අහපු පළවෙනි සිදුවීමත් නෙවේ අවසාන සිදුවීමත් නෙවේ. තව ඕන තරම් මේ වගේ සිදුවීම් තියනවා කියන්න. ඒත් ඒවා කියලා වැඩක් නෑ. දැන් මේ දේවල් සාමාන්‍යය දේවල් වෙලා. මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නෙ. මම ප්‍රාර්ථනා කරනවා කිසිම කෙනෙකුට මේ වගේ දුකක් දැනෙන්න වෙන්න එපා කියලා.

සුභම සුභ..........


සුභම සුභ උපන්දිනයක් වේවා මගෙ සුදු මැණිකට..!!!

යන්නම් නචි.....

මම ඊයෙ සුදු මැණිකෙ හම්බ වෙලා ගෙදර යන්න බස් එකට නැග්ගම පුරුදු මූණක් ඉන්නවා බස් එකේ. මගෙ වයසෙම අපේ සාසලේම වෙන පන්තියක හිටිය ගෑණු ළමයෙක්. ගෑණු ළමය ශිරෝෂි කියලා හදුන්වන්නම්කො. බස් එකේ සෙනගත් වැඩියි. ඉදගන්න ඉඩත් නෑ. මම හිටගෙන සීට් එකේ උඩින් අල්ලගෙන හිටියේ. මම හිටිය සීට් එකට ඉස්සරහ සීට් එකේ අර කිව්ව ගෑණු ළමයා කොල්ලෙක් එක්ක උකුලු මුකුලු කර කර යනවා. කෙල්ලගෙ ෆෝන් එක කොල්ලා අරගෙන මොනවද බලනවා. ඒ කොල්ලවත් මම දන්නවා. ඒත් කතා කරන්න තරම් හිතවත් නෑ...

මේ කෙල්ල දැක්කම එක පාරටම මට මතකෙට ආවේ මේ මම ලියුම් ලියපු කෙල්ල නේද කියලා. නෑ නෑ මම ඒ ළමයට ලියුම් ලියන්න ගියෙ නෑ. මට මතක විදියට අපි සාමාන්‍ය පෙළ කරන දවස් වල. අපේ සෙට් එකේ හිටිය ගණිතයට මාරම දක්ෂ මගේ හොදම යාලුවා මහේෂ් ශිරෝෂිත් එක්ක යාලු වෙලා හිටියා. මම තමයි මහේෂ් ශිරෝෂිට දෙන ලියුම් ඔක්කොම ලියන්නෙ. ඒකට හේතුව තමයි මහේෂ්ගෙ අකුරු  කැත වීම. මගේ අකුරු ඉතින් මුතු කැට වගේ හින්දා මහේෂ්ගේ පළවෙනි ලියුමෙ ඉදලා මට මතක විදියට සතියට ලියුම් දෙකක් විතර ලියනවා. දැන් නම් යන්තං වත් මතක නෑ මොනවද ලියවුනේ කියලා. පන්තියෙදි හිස් පීරියඩ් එකක් ආව ගමන් ලියුමක් ලියනවා. මහේෂ් කියවනවා. මම ලියනවා. මහේෂ් ලියුම් ලියන්න වෙනම පොතක් අරන් තිබුනා රෝස පාට ලස්සන කොල තියෙන.

ඉතින් මේ දෙන්නගෙ සම්බන්දේ පටන් ගන්නේ 1999 මැද හරියේ මට මතක විදියට. මහේෂ් පලවෙනි ලියුම ලියවගන්නවා මට කියලා. ලියුම ශිරෝෂිට දෙන්න වෙන්නෙත් මටම තමයි. ඉතින් ඒ වැඩෙත් මම කැමැත්තෙන් කලා. අවුලක් නැතුව සම්බන්දෙ පටන් ගත්තා.

මට මතක විදියට පාසැල් ගමන අවසාන වෙනවත් එක්කම ඒ සම්බන්දෙ ඉවර වුණා. මහේෂ් නේවි එකට ගියා. ඒ ආදර කතාවත් එහෙමම ඉවර වුණා.

ශිරෝෂි බස් එකෙන් බහින තැන ලන් වෙනවත් එක්කම නැගිටලා ආවෙ මම ඉන්න තැනට. එදිනදා තොරතුරු ටිකක් කතා කලා බස් එක නවත්වනකල්. "යන්නම් නචි" කියලා ශිරෝෂි බස් එකෙන් බැහැලා ගියා....

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...