සතුට.........

 













එක පුද්ගලයෙක් එයාගෙ බිරිඳගෙ අල්මාරිය ඇරලා ලස්සන සුදු ඇඳුමක් හෙව්වලු. එතකොට ලස්සන කවරෙක දාලා නමල තිබුණ සුදු ඇඳුමකුයි රිදී පාට මාල කීපයකුයි හම්බ වෙලා. 
ඔහු ඒ සේරම අතට අරගෙන ගොඩාක් වෙලා කල්පනා කරද්දි මතක් වුණාලු දැනට අවුරුදු අටකට නවයකට වගේ උඩදි ඒ ගොල්ලො පිටරටක නිවාඩුවකට ගිය වෙලාවෙයි ඒ ඇඳුම් ආයිත්තම් මිලදී ගත්තෙ කියලා. ඒ ඇඳුම් ඔහුගෙ බිරිඳ පාවිච්චි කරලම නෑ. අවුරුදු ගණනාවක් තිස්සෙ ඒ ගත්තු විදියටම අල්මාරියෙ තිබිලා.

විශේෂ දවසකට අඳින්න තියාගෙන ඉන්නවා කියලා තමයි බිරිඳ කියලා තියෙන්නේ.

ඒ ඇඳුම් ආයිත්තම් දෑතින් අරගෙන ඇඬූ කඳුළින් අසලින් හිට්පු එයාගෙ මිත්‍රයට මෙහෙම කිව්වලු.

මගේ බිරිඳ කවදාවත් මේවා ඇන්දෙ නැත්තෙ වැදගත් දවසකට අඳින්න කිය කිය හිටපු හින්දා. සමහර විට ඒ වැදගත් දවස අද වෙන්න ඇති....  

ඔහු තම මිතුරාත් එක්ක ඒ ඇඳුම අරගෙන යන්න සූදානම් උණේ කොහෙද දන්නවද ?. ඔහුගෙ මියගිය බිරිඳගේ මෘත දේහයට අන්දවන්න. 

අවමංගල උත්සවයෙන් පස්සෙ ඒ සැමියා තම මිතුරාට අවවාදයක් දුන්නලු. 
"කිසිම දෙයක් විශේෂ අවස්ථාවකට කියලා පාවිච්චි නොකර ඉන්න එපා. අපි කොයි වෙලාවෙ මැරෙයිද කවුද දන්නෙ. ඒ හින්දා හැම දවසක්ම වැදගත් දවසක් කියලා හිතලා ඒ දවස හොඳට සම්පූර්ණ විදියට වීවත් වෙන්න. නැතුව අනාගතේ වෙනුවෙන් දේවල් රැස් කරන එක මෝඩ කමක්".

අපි අනාගතේ ගැන කිසියම් දළ සැලැස්මක් ඇතිව වැඩ කරන එකේ වරදක් නැහැ. ඒත් ඉහත පුංචි කතාවෙන් අපට ජීවිතයට ඉගෙන ගන්න දෙයක් තියනවා. 

ඕනවට වඩා අනාගතේ ගැන කරදර වෙන්න එපා. අද දවසේ වින්දනය හෙට දවසට තියන්න එපා.

ඒක තමයි මේ කතාවෙන් අපට මතක් කර දෙන වැදගත්ම අදහස. හැබැයි මෙකෙන් කියන්නෙ "හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා" කියන අදහස නම් නෙවේ හොඳේ....
මේකෙන් කියන්නෙ අද දවසේදි අපි අපරාදෙ මග හැරගන්නා හිතේ තෘප්තිය එහෙම මග හැර ගන්නෙ නැතුව හැම දවසක්ම තෘප්තිමත්ව ගත කරන්න කියන එකයි.

ඇත්තෙන්ම බැලුවොත් කාලය කියන එක අපට අයිති නෑ. අල්මාරි පෙට්ටගම් වලවත් උණුවතුර බෝතල් ශීතකරණ වලවත් දාලා ආරක්ෂා කරගන්න පුලුවන් දෙයක් නෙමේ. දෑතින් බදලා අල්ලන්න පුළුවන් දෙයක් නෙමේ. කාලය කියන්නෙ මේ මොහොතෙදි වර්තමානයේදි අපිට පාවිච්චි කරන්න දීලා තියන වටිනා තෑග්ගක් විතරයි. ඒක මේ මොහොතෙදි පාවිච්චි කරන්න ඕනේ. තියා ගන්න බෑ. ඉතින් මේ වර්තමාන මොහොත තමයි ඇත්තෙන්ම බැලුවොත් අපේ ජීවිතය කියන්නෙ. ඊළග දවස ඊළග පැය ගැන කාටද සහතිකයක් දෙන්න පුළුවන් ?... මහා බල සම්පන්න රජෙකුට වුණත් බෑ. ඊළග විනාඩිය පහුකරන බවට සහතිකයක් දෙන්න. 

"Yesterday is history, Tomorrow is a mystery and Today is a factory" කියලා කවුදෝ කියලා තිබුණා. ඊයෙ කියන්නෙ ඉතිහාසය, හෙටෙ කියන්නෙ අභිරහසක් ඒත් අද කියන්නෙ කර්මාන්ත ශාලාවක් කියන අදහස කියවෙන්නෙ.

ඇත්ත නේද ?. ඊයෙ ගැන මොනවද අපට කරන්න පුළුවන්. හෙට ගැන කාටද විස්වාස කරන්න පුළුවන්. ඒත් අද දවස කියන්නෙ ඇත්තෙන්ම බොහෝ දේ කල හැකි බොහෝ දේ නිෂ්පාදනය කල හැකි ෆැක්ටරියක් තමයි නේද ?.

මේ මොහොතේ අපට මොන තරම් නිර්මාණ කරන්න පුළුවන්ද ?. අනිත් අයව සතුටු කරන්න පුළුවන්ද ? අදරේ කරුණාව දක්වන්න පුළුවන්ද ? රටට ලොවට වැඩදායක දේවල අපට කරන්න පුළුවන්ද ?. මේ මොහොත කියන්නෙ අපේ ජීවිතයේ අපිට ලද හැකි උතුම්ම වටිනාම තෑග්ග නෙමේද කියලා ගැඹුරෙන් හිතලා බලන්න. ඔබ එකඟ වේවි. අපි අතින් සමහර වැරදි වැඩ, මෝඩ වැඩ, නිෂ්ඵල වැඩ වෙන්න පුළුවන්. මිනිසුන් වශයෙන් ඒක ස්වභාවිකයි. ඒත් ජීවිතය වර්තමාන විනාඩියෙන්, පැයෙන්, දවසෙන් කොටස් කරගෙන ජීවත් වුණොත් අපේ නිශ්ඵල වැඩ, වැරදි වැඩ, මෝඩ වැඩ ගොඩක් අඩු කරගන්න පුළුවන්. හැම විනාඩියක්ම, හැම පැයක්ම, හැම දවසක්ම අර්ථවත්, යහපත්, සාර්ථක බවකින් පුරවන්න පුළුවන්. 

අද දවස ඒ විදියට, ප්‍රයෝජනවත් විදියට, වටිනා විදියට, යහපත් විදියට ගත කලොත් හෙට දවස ගැන කරදර වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. වර්තමානයෙදි අපි ගත කරන හැම මොහොතකම අපි ක‍රන දේ තමයි අතීතයට තැම්පතුවක් වගේ ඉතුරු වෙන්නෙ. වර්තමානෙ නිෂ්ඵලට, අලසව, වැරදි විදිහට ගත කළොත් අතීතයෙ තැම්පතුවක් වෙන්නේ ඒවම තමයි. ඉතින් අනාගතේ ගැන ඕනවට වඩා හිත කනස්සලු කරගන්නත් එපා. අතීතය ගැන හිත හිත වේදනා විඳින්නත් එපා. වර්තමානය කියන උතුම් නිධානයේ අසිරිය ගැන හිතන්න. ජීවිතය සෞභාග්‍යයෙන් පුරවාගන්න. 

ඔබට ලැබී තියෙන මහඟු අවස්ථාව ගැන හිතන්න. පුටුව උඩට වෙලා, ඇඳට ගුලි වෙලා කල්පනා කරන්න එපා. ජීවත් වීම මේ මොහොතේ ප්‍රීතිමත් අත්දැකීමක් කරගන්න. නැගිටින්න අර නොලියපු ලියුම, මැසේජ් එක දැන් ලියන්න, ටයිප් කරන්න. කෙනෙකුගෙ හිත හදන්න දෙන්න ඕනෙ කියලා හිටපු කෝල් එක දැන් දෙන්න. වයසක අම්මට තාත්තට ආදරේ පෙන්නන්න පරක්කු වෙන්න එපා. ඒකට හොඳම මොහොත මේ මොහොතයි. යන්න ඒ ගොල්ලන්ට ආදරයෙන් වචනයක් දෙකක් කතා කරන්න. හිස ටිකක් පිරිමදින්න, ඇඳුමක් හෝදලා දෙන්න. ගොඩක් වයස නම් කෑම ටිකක් කවන්න. හෙට ප්‍රමාද වැඩි වෙන්න පුලුවන්. 

ඕනෑම කෙනෙක්ට සෙනෙහස පෙන්වන්න සුදුසුම වෙලාව මේ මොහොතයි. කාට හරි ඔබෙන් වරදක් වුණා නම් සමාව ගන්න හොඳම මොහොත මේ මොහොතයි. අනාගතේ වාසනාවන්ත කරගන්න තියන මාවත මේ මොහොතයි. අපරාදෙ මට අර දේ කරන්න තිබුණා, මට මේ දේ කරන්න තිබුණා කියලා පසුතැවෙන්න ඉඩ තියා ගන්නෙ ඇයි ?.. මැරීගෙන සල්ලි හම්බ කරනවට වඩා බිරිඳ / සැමියා දරුවො ගැන දැන් හිතන්න. සල්ලි හම්බකරලා පස්සෙ බැරියැ පවුල සතුටු කරන්න කියලා හිතන්න එපා. 

වටිනා අවස්ථාවකට කියලා ඕනවට වඩා පරිස්සමට දේවල් හංගලා තියන්න එපා. කවදාවත් පාවිච්චි නොකර පුස් බැඳෙන්නත් පුළුවන්. පිළිවෙලට ඇන්දාට කමක් නෑ සමන්‍ය වුණත්. ඔබට තැගි ලැබුණ සුවඳ විලවුන් බෝතලේ හංගලා තියන්න එපා. පුංචි මිහිරි සුවඳක් ඇඳුමට ආවට කමක් නෑ. මල් සුවඳක් දැවටෙනවා වගේ අද, කවදා හරි දවසක මතු දවසක කියන වචන ගැන ඕනවට වඩා විස්වාස තියන්නත් එපා. 

පාසලක හිටපු අන්තිම දරුණු අකීකරු සිසුවෙක් එයාගෙ අම්මගෙ හදිසි වියෝවෙන් පස්සෙ සම්පූර්ණයෙන්ම ජීවිතේ වෙනස් කරගෙන කීකරු දරුවෙක් වුණාලු. අම්මා නැති වුනේ තමන්ගෙ මුරණ්ඩු නොසන්ඩාල වැඩ හින්දා බව ඒ සිසුවා කිව්වලු. ඒත් ඒ යහපත් වෙනස් වීම ඒ මවගෙ වියෝවට කලින් සිදුවුණා නම් කොච්චර හොදද. අද සමාජයේ බොහෝ දෙනෙක් මේ වගේ පසුතැවෙන්නෙ බොහෝ විට පමා වැඩි වෙලා කිසිම දෙයක් කරගන්න බැරි විදියට අතීතයේ තැම්පත් වුණාට පස්සෙ. 

ඉතින් ඒ හින්දා මේ මොහොතේ වටිනාකම ගැන මේ මොහොතේම ටිකක් නිස්කලංකව හිතන්න. කොච්චර කාර්ය බහුල තත්වෙක හිට්යත් එක විනාඩියක විරාමයක් අරගෙන මේ දැන්ම ඒ ගැන හිතන්න. පෙරහැර ගියාට පස්සෙ පාර සරසල වැඩක් නෑනෙ. ඒ වගේ ජීවිතේ බොහෝ දේ අතීතයට ගියාට පස්සෙ ඒ ගැන හිතලා වැඩක් නෑ. පස්සට ප්‍රයෝජන ගන්න දේවල් හංගනවට වඩා මෙ මොහොතෙ ඒක ප්‍රයෝජනයට අරගෙන තෘප්තිමත් වෙන එක ඊට වඩා බොහෝ සෙයින් නැණවත් විය හැකියි. අපි ගොඩ දෙනෙක් ජීවත් වෙන්න ලෑස්ති වෙනවා මිසක් ජීවත් වෙන්නෙ නෑ. මේ මොහොතෙ ජීවත්වෙන්නෙ නෑ.

හිතන්න ඒ ගැන. මෙ මොහොතට උඩින් විදුලි වේගයෙන් අනාගතයට පියඹනවාට වඩා මේ මොහොත සතුටින් තෘප්තිමත් බවින් තමන්ටත් අනුන්ටත් යහපතක්ම වෙන විදියට ගත කරන්න පුළුවන් නම් ඒක නේද ඇත්තටම ජීවිතය කියන්නෙ.

12 අදහස්:

Thusitha (දිමා) said...

ජීවිතයට ගොඩක් ආදර්ශමත් කතාවක්...
(බිලොග් එකේ පොන්ටි සයිසි එක ටිකක් ලොකු කලොත් හොදයි)

දිල් said...

හිතන්න යමක්....හොඳ කාරනා ටිකක් ගැබ්වෙලා තියෙනවා...උපුටා ගත්ත යමක්ද නැත්තම් නචීගෙම අදහසක්ද ?

නචියා said...

@ දිමා
ඔව් මචං, මට පහුගිය ටිකේ වුණ දේවල් ටිකක් එක්ක තමයි ඔහොම ලියැවුනේ.

නචියා said...

@ දිල්
උඩම තියන කතාවත් එක්ක පොඩි අදහස් ටිකක් ගත්තා මයිකල් ආන්ජලෝ ලියල තිබුන ලිපියකින්. මට පහුගිය ටිකේ අත්දකින්න ලැබුණ දේවලුත් ඇතුලත්ව තමයි මේක ලිව්වේ.

prasanna86k said...

නියම කතාවක් නචියා...!

Dinesh said...

හිතන්න යමක් ඉතුරු කරපු කතාවක්..

Sabith said...
This comment has been removed by the author.
Sabith said...

සහතික ඇත්ත!අද ජීවත් වෙලා ඉවර වෙන්න එපැයි හෙට ජීවත් වෙන්න!ගොඩක් අය නොකා නොබී කන්නේ අඳින්නේ නැතුව සල්ලි වස්තුව ගොඩ ගහනවා~අන්තිමට සල්ලිත් ඉතුරුයි කරන්න දේකුත් නෑ හිටපු කාලේ සතුටින් ඉඳලත් නෑ!

නචියා said...

@ prasanna86k
තැංකූ මචන් මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් කලාට

@ Dinesh
මොකද මචං කමෙන්ට් එක ඩිලීට් කලේ. ස්තුතියි මේ පැත්තෙ ආවට.

@ Sabith
සම්පූර්ණ ඇත්ත කතාව සබිත්, ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් කලාට.

තිස්ස දොඩන්ගොඩ said...

දිනපතා දේව වාක්‍යයක් සේ මතුල යුතු කථාවක් මල්ලී ඔබ මේ අපූරුවට කියා පෑවේ
අතිධාවනයෙන් හෙටට සැරසෙන අපට වටිනාම සිහි කැඳවීමකි
ඔබට තුති!

Rajith said...

හිතට වදින කතාවක්!.මම හිතන්නේ මේක තමයි මම මේ බ්ලොග් එකේ කියවපු හොදම පෝස්ට් එක

නචියා said...

@ තිස්සා අයියා
ගොඩක් ස්තුතියි මේ පැත්තෙ ආවට, අනිවා අයියෙ දවසට වතාවක් වත් අපට ඔය ටික මෙනෙහි කරන්න පුළුවන් නම් ජීවිතේ ගොඩාක් සාර්ථක කරගන්න පුළුවන් මම හිතන්නෙ....

@ රජියා
ගොඩක් ස්තුතියි රජිත් මලේ.....

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...