මෙහෙමත් කෙල්ලෝ...........



දැනට මාසෙකට විතර කලින් මට කෝල් එකක් ආවා මගෙ යාළුවෙකුගෙන්. යාළුවගෙ නම් චන්දික කියමුකො. මෙහෙමයි අපි දෙන්න අතර කතාව ගියෙ...

චන්දික : හලෝ නචිය, මොකද කරන්නෙ, කොහෙද බන් ඉන්නෙ..
මම : අඩෝ චන්දිකයා, අද හාෆ් ඩේ ආවා බන්, කොලඹ යන්න බස් එකට නැග්ගා විතරයි
චන්දික : ඉතිං මචං... පොඩි උදවක් ඉල්ලගන්න පුළුවන්ද බලන්න කතා කලේ..
මම : කියපන් මචෝ පුළුවන් දෙයක් නම් ඉතිං ආයෙ අහන්න දෙයක් නෑ ඕකේ
චන්දික : මචං, මගෙ වෙඩිං එක ජනවාරි, කතා කලේ උඹට පුළුවන්ද බෙස්ට් මන්ට ඉන්න කියල බලාගන්න බන්..
මම : අනේ සොරි මචෝ, මම දැනට දෙකකට ඉඳලා තියනවා, තව එකක් ආවා මම බෑ කිව්වා, තුනකට ඉන්න ඉන්න හොඳ නෑළුනෙ බන්, කෙල්ල කියනවා ඉන්න එපාලු, ඒකයි කලින් එකටත් බෑ කිව්වෙ බන්...
චන්දික : එහෙමද, අවුලක් නෑ බන්, පියල්ට කතා කරලා බලන්නම්...
මම : අවුලක් නෑ නේද බන්
චන්දික :  නෑ මචෝ, පස්සෙ සෙට් වෙමුකො එහෙනම්
මම : එළ මචං, එහෙනම් තිබ්බා...

එදයින් පස්සෙ චන්දික මට කෝල් කලේ නෑ. තරහකට නෙවේ. සෙට් වෙන වෙලාවක කෝල් එකක් දුන්නොත් ඇරෙන්න නිකමට කෝල් එකක් දෙන්නෑ චන්දිකයා. ගිය සතියෙ මට පියලව හම්බුණා. පියල් එක්ක කතා බහ ගියෙ මෙහෙමයි..

මම : හලෝ පියලා, කොහොමද මචං..
පියල් : අඩෝ නචියා, ඉන්නවා මචං උඹලගෙ පිහිටෙන් අපේ වියදමෙන් (කවුරු ඇහුවත් කියන්නෙ ඔය ටික තමයි) 
මම : ඒක නෙමේ මචං, චන්දිකයගෙ වෙඩින් එක නේද ජනවාරි,  උඹට කතා කලාද බෙස්ට් මන්ට
පියල් : ඔව් බන් මාර වැඩක්නෙ ඌට වෙලා තියෙන්නේ. වෙඩින් එක කැන්සල්, හොටෙල් එකත් බුක් කරලා තිබුනෙ ඒකත් කැන්සල් කලා බන්.
මම : අඩේ ඒ මොකද බන්, මොකක්ද අවුල...
පියල් : මාර කෙල්ලෙක් බන් ඒකි, මාතර එවුන්නේ, පවුං පහක මාලෙකුයි පවුමක මුද්දකුයි ඉල්ලලා චන්දිකයගෙන්..
මම : ඈ යකෝ මාර කෙල්ලෙක්නෙ බන්
පියල් : ඒ ටික නැත්නම් මේක කෙරෙන්නෙ නෑ කිව්වළු. චන්දිකයගෙ තාත්තා ඒකිගෙ ගෙදරට කතා කරලා මගුල නවත්තලා දැම්මා.
මම : පව් බන් චන්දිකයා, ඔය තුන් වෙනියට කෙරෙන්නම ගිය එක, කලින් දෙකෙත් අවුල් වුනානෙ.
පියල් : ඔව් බන් මොනා කරන්නද, පතාගෙනම අපු එකා එනකල් ඉන්න වෙනාවා.

තවත් දේවල් කතා කරලා මම පියල්ගෙන් සමු අරගෙන ආවා. ඔන්න ඉතිං මෙහෙමත් කෙල්ලො කිව්වට ඔක්කොම එහෙම නෑ. මෙහෙම අයත් ඉන්නවා කියලා කියන්න තමයි මේ කතාව දැම්මෙ.


ප. ලි. - නම් ගම් මනංකල්පිතයි. සත්‍ය සිදිවීමක්

සතුට.........

 













එක පුද්ගලයෙක් එයාගෙ බිරිඳගෙ අල්මාරිය ඇරලා ලස්සන සුදු ඇඳුමක් හෙව්වලු. එතකොට ලස්සන කවරෙක දාලා නමල තිබුණ සුදු ඇඳුමකුයි රිදී පාට මාල කීපයකුයි හම්බ වෙලා. 
ඔහු ඒ සේරම අතට අරගෙන ගොඩාක් වෙලා කල්පනා කරද්දි මතක් වුණාලු දැනට අවුරුදු අටකට නවයකට වගේ උඩදි ඒ ගොල්ලො පිටරටක නිවාඩුවකට ගිය වෙලාවෙයි ඒ ඇඳුම් ආයිත්තම් මිලදී ගත්තෙ කියලා. ඒ ඇඳුම් ඔහුගෙ බිරිඳ පාවිච්චි කරලම නෑ. අවුරුදු ගණනාවක් තිස්සෙ ඒ ගත්තු විදියටම අල්මාරියෙ තිබිලා.

විශේෂ දවසකට අඳින්න තියාගෙන ඉන්නවා කියලා තමයි බිරිඳ කියලා තියෙන්නේ.

ඒ ඇඳුම් ආයිත්තම් දෑතින් අරගෙන ඇඬූ කඳුළින් අසලින් හිට්පු එයාගෙ මිත්‍රයට මෙහෙම කිව්වලු.

මගේ බිරිඳ කවදාවත් මේවා ඇන්දෙ නැත්තෙ වැදගත් දවසකට අඳින්න කිය කිය හිටපු හින්දා. සමහර විට ඒ වැදගත් දවස අද වෙන්න ඇති....  

ඔහු තම මිතුරාත් එක්ක ඒ ඇඳුම අරගෙන යන්න සූදානම් උණේ කොහෙද දන්නවද ?. ඔහුගෙ මියගිය බිරිඳගේ මෘත දේහයට අන්දවන්න. 

අවමංගල උත්සවයෙන් පස්සෙ ඒ සැමියා තම මිතුරාට අවවාදයක් දුන්නලු. 
"කිසිම දෙයක් විශේෂ අවස්ථාවකට කියලා පාවිච්චි නොකර ඉන්න එපා. අපි කොයි වෙලාවෙ මැරෙයිද කවුද දන්නෙ. ඒ හින්දා හැම දවසක්ම වැදගත් දවසක් කියලා හිතලා ඒ දවස හොඳට සම්පූර්ණ විදියට වීවත් වෙන්න. නැතුව අනාගතේ වෙනුවෙන් දේවල් රැස් කරන එක මෝඩ කමක්".

අපි අනාගතේ ගැන කිසියම් දළ සැලැස්මක් ඇතිව වැඩ කරන එකේ වරදක් නැහැ. ඒත් ඉහත පුංචි කතාවෙන් අපට ජීවිතයට ඉගෙන ගන්න දෙයක් තියනවා. 

ඕනවට වඩා අනාගතේ ගැන කරදර වෙන්න එපා. අද දවසේ වින්දනය හෙට දවසට තියන්න එපා.

ඒක තමයි මේ කතාවෙන් අපට මතක් කර දෙන වැදගත්ම අදහස. හැබැයි මෙකෙන් කියන්නෙ "හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා" කියන අදහස නම් නෙවේ හොඳේ....
මේකෙන් කියන්නෙ අද දවසේදි අපි අපරාදෙ මග හැරගන්නා හිතේ තෘප්තිය එහෙම මග හැර ගන්නෙ නැතුව හැම දවසක්ම තෘප්තිමත්ව ගත කරන්න කියන එකයි.

ඇත්තෙන්ම බැලුවොත් කාලය කියන එක අපට අයිති නෑ. අල්මාරි පෙට්ටගම් වලවත් උණුවතුර බෝතල් ශීතකරණ වලවත් දාලා ආරක්ෂා කරගන්න පුලුවන් දෙයක් නෙමේ. දෑතින් බදලා අල්ලන්න පුළුවන් දෙයක් නෙමේ. කාලය කියන්නෙ මේ මොහොතෙදි වර්තමානයේදි අපිට පාවිච්චි කරන්න දීලා තියන වටිනා තෑග්ගක් විතරයි. ඒක මේ මොහොතෙදි පාවිච්චි කරන්න ඕනේ. තියා ගන්න බෑ. ඉතින් මේ වර්තමාන මොහොත තමයි ඇත්තෙන්ම බැලුවොත් අපේ ජීවිතය කියන්නෙ. ඊළග දවස ඊළග පැය ගැන කාටද සහතිකයක් දෙන්න පුළුවන් ?... මහා බල සම්පන්න රජෙකුට වුණත් බෑ. ඊළග විනාඩිය පහුකරන බවට සහතිකයක් දෙන්න. 

"Yesterday is history, Tomorrow is a mystery and Today is a factory" කියලා කවුදෝ කියලා තිබුණා. ඊයෙ කියන්නෙ ඉතිහාසය, හෙටෙ කියන්නෙ අභිරහසක් ඒත් අද කියන්නෙ කර්මාන්ත ශාලාවක් කියන අදහස කියවෙන්නෙ.

ඇත්ත නේද ?. ඊයෙ ගැන මොනවද අපට කරන්න පුළුවන්. හෙට ගැන කාටද විස්වාස කරන්න පුළුවන්. ඒත් අද දවස කියන්නෙ ඇත්තෙන්ම බොහෝ දේ කල හැකි බොහෝ දේ නිෂ්පාදනය කල හැකි ෆැක්ටරියක් තමයි නේද ?.

මේ මොහොතේ අපට මොන තරම් නිර්මාණ කරන්න පුළුවන්ද ?. අනිත් අයව සතුටු කරන්න පුළුවන්ද ? අදරේ කරුණාව දක්වන්න පුළුවන්ද ? රටට ලොවට වැඩදායක දේවල අපට කරන්න පුළුවන්ද ?. මේ මොහොත කියන්නෙ අපේ ජීවිතයේ අපිට ලද හැකි උතුම්ම වටිනාම තෑග්ග නෙමේද කියලා ගැඹුරෙන් හිතලා බලන්න. ඔබ එකඟ වේවි. අපි අතින් සමහර වැරදි වැඩ, මෝඩ වැඩ, නිෂ්ඵල වැඩ වෙන්න පුළුවන්. මිනිසුන් වශයෙන් ඒක ස්වභාවිකයි. ඒත් ජීවිතය වර්තමාන විනාඩියෙන්, පැයෙන්, දවසෙන් කොටස් කරගෙන ජීවත් වුණොත් අපේ නිශ්ඵල වැඩ, වැරදි වැඩ, මෝඩ වැඩ ගොඩක් අඩු කරගන්න පුළුවන්. හැම විනාඩියක්ම, හැම පැයක්ම, හැම දවසක්ම අර්ථවත්, යහපත්, සාර්ථක බවකින් පුරවන්න පුළුවන්. 

අද දවස ඒ විදියට, ප්‍රයෝජනවත් විදියට, වටිනා විදියට, යහපත් විදියට ගත කලොත් හෙට දවස ගැන කරදර වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. වර්තමානයෙදි අපි ගත කරන හැම මොහොතකම අපි ක‍රන දේ තමයි අතීතයට තැම්පතුවක් වගේ ඉතුරු වෙන්නෙ. වර්තමානෙ නිෂ්ඵලට, අලසව, වැරදි විදිහට ගත කළොත් අතීතයෙ තැම්පතුවක් වෙන්නේ ඒවම තමයි. ඉතින් අනාගතේ ගැන ඕනවට වඩා හිත කනස්සලු කරගන්නත් එපා. අතීතය ගැන හිත හිත වේදනා විඳින්නත් එපා. වර්තමානය කියන උතුම් නිධානයේ අසිරිය ගැන හිතන්න. ජීවිතය සෞභාග්‍යයෙන් පුරවාගන්න. 

ඔබට ලැබී තියෙන මහඟු අවස්ථාව ගැන හිතන්න. පුටුව උඩට වෙලා, ඇඳට ගුලි වෙලා කල්පනා කරන්න එපා. ජීවත් වීම මේ මොහොතේ ප්‍රීතිමත් අත්දැකීමක් කරගන්න. නැගිටින්න අර නොලියපු ලියුම, මැසේජ් එක දැන් ලියන්න, ටයිප් කරන්න. කෙනෙකුගෙ හිත හදන්න දෙන්න ඕනෙ කියලා හිටපු කෝල් එක දැන් දෙන්න. වයසක අම්මට තාත්තට ආදරේ පෙන්නන්න පරක්කු වෙන්න එපා. ඒකට හොඳම මොහොත මේ මොහොතයි. යන්න ඒ ගොල්ලන්ට ආදරයෙන් වචනයක් දෙකක් කතා කරන්න. හිස ටිකක් පිරිමදින්න, ඇඳුමක් හෝදලා දෙන්න. ගොඩක් වයස නම් කෑම ටිකක් කවන්න. හෙට ප්‍රමාද වැඩි වෙන්න පුලුවන්. 

ඕනෑම කෙනෙක්ට සෙනෙහස පෙන්වන්න සුදුසුම වෙලාව මේ මොහොතයි. කාට හරි ඔබෙන් වරදක් වුණා නම් සමාව ගන්න හොඳම මොහොත මේ මොහොතයි. අනාගතේ වාසනාවන්ත කරගන්න තියන මාවත මේ මොහොතයි. අපරාදෙ මට අර දේ කරන්න තිබුණා, මට මේ දේ කරන්න තිබුණා කියලා පසුතැවෙන්න ඉඩ තියා ගන්නෙ ඇයි ?.. මැරීගෙන සල්ලි හම්බ කරනවට වඩා බිරිඳ / සැමියා දරුවො ගැන දැන් හිතන්න. සල්ලි හම්බකරලා පස්සෙ බැරියැ පවුල සතුටු කරන්න කියලා හිතන්න එපා. 

වටිනා අවස්ථාවකට කියලා ඕනවට වඩා පරිස්සමට දේවල් හංගලා තියන්න එපා. කවදාවත් පාවිච්චි නොකර පුස් බැඳෙන්නත් පුළුවන්. පිළිවෙලට ඇන්දාට කමක් නෑ සමන්‍ය වුණත්. ඔබට තැගි ලැබුණ සුවඳ විලවුන් බෝතලේ හංගලා තියන්න එපා. පුංචි මිහිරි සුවඳක් ඇඳුමට ආවට කමක් නෑ. මල් සුවඳක් දැවටෙනවා වගේ අද, කවදා හරි දවසක මතු දවසක කියන වචන ගැන ඕනවට වඩා විස්වාස තියන්නත් එපා. 

පාසලක හිටපු අන්තිම දරුණු අකීකරු සිසුවෙක් එයාගෙ අම්මගෙ හදිසි වියෝවෙන් පස්සෙ සම්පූර්ණයෙන්ම ජීවිතේ වෙනස් කරගෙන කීකරු දරුවෙක් වුණාලු. අම්මා නැති වුනේ තමන්ගෙ මුරණ්ඩු නොසන්ඩාල වැඩ හින්දා බව ඒ සිසුවා කිව්වලු. ඒත් ඒ යහපත් වෙනස් වීම ඒ මවගෙ වියෝවට කලින් සිදුවුණා නම් කොච්චර හොදද. අද සමාජයේ බොහෝ දෙනෙක් මේ වගේ පසුතැවෙන්නෙ බොහෝ විට පමා වැඩි වෙලා කිසිම දෙයක් කරගන්න බැරි විදියට අතීතයේ තැම්පත් වුණාට පස්සෙ. 

ඉතින් ඒ හින්දා මේ මොහොතේ වටිනාකම ගැන මේ මොහොතේම ටිකක් නිස්කලංකව හිතන්න. කොච්චර කාර්ය බහුල තත්වෙක හිට්යත් එක විනාඩියක විරාමයක් අරගෙන මේ දැන්ම ඒ ගැන හිතන්න. පෙරහැර ගියාට පස්සෙ පාර සරසල වැඩක් නෑනෙ. ඒ වගේ ජීවිතේ බොහෝ දේ අතීතයට ගියාට පස්සෙ ඒ ගැන හිතලා වැඩක් නෑ. පස්සට ප්‍රයෝජන ගන්න දේවල් හංගනවට වඩා මෙ මොහොතෙ ඒක ප්‍රයෝජනයට අරගෙන තෘප්තිමත් වෙන එක ඊට වඩා බොහෝ සෙයින් නැණවත් විය හැකියි. අපි ගොඩ දෙනෙක් ජීවත් වෙන්න ලෑස්ති වෙනවා මිසක් ජීවත් වෙන්නෙ නෑ. මේ මොහොතෙ ජීවත්වෙන්නෙ නෑ.

හිතන්න ඒ ගැන. මෙ මොහොතට උඩින් විදුලි වේගයෙන් අනාගතයට පියඹනවාට වඩා මේ මොහොත සතුටින් තෘප්තිමත් බවින් තමන්ටත් අනුන්ටත් යහපතක්ම වෙන විදියට ගත කරන්න පුළුවන් නම් ඒක නේද ඇත්තටම ජීවිතය කියන්නෙ.

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...